හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු හා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය මෙහෙයවන්නාවූ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අද(01) සවස අරලියගහ මන්දිරය ඇතුළේදී හෝ  අසළ දී පහර දීමක් නිසා තුවාල ලබා ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ ඔහු අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවී කලබල කරන්නට ගිය අවස්ථාවක බවට
එජාපය දන්වා සිටින අතර එජනිසයට සම්බන්ධ මාධ්‍ය දක්වන්නේ ඔහු අරලියගහ මැදුර අසළින් ගමන් කරන විට පිරිසක් පැමිණ පහරදුන් බවයි.
අරලිය ගහ මන්දිරයේ පිරිස් රැඳී සිටීම හෙළා දකිමින් ඔහු අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද ආවේගයෙන් අදහස් පළ කර තිබූ අතර ඔහු

කියා සිටියේ  දැන් එජාපයට බලයේ පැවැත්මක් නැති බවත්'මළ කඳක්' රැකීම වෙනුවෙන් අරලිය ගහ මැදුර අල්ලාගෙන සිටීම අර්ථ විරහිත බවත්ය. එසේ කියූ ඔහු පසුව අරලියගහමැදුර අසළින් ගමන් කළාද නැතහොත් එය තුළට ගමන් කළාද පැහැදිලි නැත.

එජනිසට සම්බන්ධ ආරංචි හෙලි කර තිබෙන්නේ සවස 2.30 ත් 3 ත් අතර කාලයේ දී ඔහු තවත් කිහිප දෙනෙකු සමඟ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් මාර්ගයේ පැමිණෙමින් සිටිය දී අරලියගහ මන්දිරය තුළ සිට පැමිණි මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා මන්ත්‍රී හේෂාන් විතාරණ තවත් පිරිසක් සමග විත් ඉතා අසභ්‍ය ලෙස බැන වැදෙමින් පහර දුන් බවයි.

ඔහුගේ කමිසයේ කොටසක් ඉරී හිසට හා ශරීරයට පහර කෑ තැලුම් ඇතිව තිබේ. අජිත් ප්‍රසන්න මහතාගේ ඇසට ඉහළින් තුවාල වීමක් දක්නට ලැබෙන ඡායාරූපයක්ද ප්‍රසිද්ධවී තිබේ.
පහර දීමෙන් අනතුරුව  ඔහු කොල්ලුපිටිය පොලීසියට මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ.
පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතව ඇති අතර, තමා නීතිඥයෙක් වශයෙන් එම ඇඳුමින් සැරසී සිටින විට මෙම ප්‍රහාරයට ලක්වීම ඉතා දැඩි ලෙස හෙළා දකින බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.