https://www.gossiplankanews.com/2018/11/Raveendra-wijegunaratne-arrested.html#more
පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු 2008 වසරේදී සුදුවෑන් මගින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර
එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
එම සිද්ධියේම ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාට වරෙන්තු නිකුත් කර තිබියදී සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා චෝදනා එල්ලවී තිබිණි.


පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අධිකරණයේදී අද (28) කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.

අද උදේ විභාගයෙන් පසු  පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් කොටුව  මහෙස්ත්‍රාත්වරයා  නඩුව  අද 2.30 වන තුරු කල්  තැබීමට නියෝග කළේය.
නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත  සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු විය.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහු එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
මෙම සිද්ධිය අනාවරණය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්ෂි ලබා දුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහර දීම සහ ජීවිත තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා එල්ල තිබේ.

අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී   විභාගයට ගැනෙන  නඩුව  වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට  අධිකරණ භූමියෙන් පිටතදී යම් පුද්ගලයකු පහර දී තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොලට පැමිණිල්ලක්  ද  ඇත.

අද උදෑසන කැඳවු  නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී ,    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පිටව යාමට සැරසෙන අවස්ථාවේදී  ඔහු සමඟ සිටි නාවික හමුදා  නිලධාරීයකු යැයි  සැකකරෙන පුද්ගලයකු විසින්  එතැන සිටි  මාධ්‍යවේදීන්ට පහර දී තිබේ.
පහර දුන්   එම පුද්ගලයාද එතැන සිටි පොලිස් නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මින් ඉහත හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැණ එළවා දැමීම සම්බන්ධයෙන්ද අද්මිරාල්වරයා ආන්දෝලනාත්මක පුවතක් මැවූ අයෙකි.

පසුගියදා ඔහුගේ නඩුව සම්බන්ධ කරුණු ගොනු කළ පොලිස් ප්‍රධානී නිශාන්ත ද සිල්වාට එල්ටීටීඊ චෝදනා කර මාරුවීමක් ලබාදෙන්නට පොලිස්පතිවරයා දැරූ උත්සාහයක්ද වාර්තාවී තිබු අතර මහජන විරෝධය හමුවේ ඔහු යළි සේවයේ පිහිටුවන ලදි.