https://www.gossiplankanews.com/2018/11/113-wimal-speech.html
 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එයට හේතු පැහැදිලි කරමින් අමාත්‍ය විමල් වීරවංශ  ඊයේ (10) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පවසා තිබේ.
    ‘‘එක්සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් බටහිර තානාපති කාර්යාල හා බැඳුණු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකුත් පසුගිය කාලය තුළ
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නැති අවුලක් පෙන්වීමට විශාල උත්සාහයක් ගනු ලැබුවා. හිටපු අගමැතිවරයා බටහිර රටවලට ඇරයුම් කරනු ලැබුවා, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හැනිකර ලෙස මැදිහත්වීමට. ඒ වගේම ඉතිහාසය තුළ මෙතෙක් නොපැවති ලෙස අරලියගහ මන්දිරය පොලූ මුගුරු සහිත පිරිසක් නවාතැන් ගත් තැනක් බවට පත් වුණා. පාඨලී චම්පිකලා ලේ වැගීරීම් ගැන කතා කරන්න පටන් ගත්තා.
    මේ සියල්ල තුළින් ඔවුන් උත්සාහ ගත්තා මේ රට තුළ මැදපෙරදිග මෙන් ලේ වැකි ‘රෝස වසන්තයක්’ ඇති කරන්න. නමුත් මේ අයගේ විරෝධතාවලට කිසිදු ජනතා

සහයෝගයක් ලැබුණේ නැහැ. නීතිවිරෝධී පහ කිරීමක් නම් සිදු කළේ, තමන් වගකිවයුතු නායකයෙක් නම් රනිල් වික‍්‍රමසිංහ මහතා කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව අධිකරණයේ පිහිට ගැනීම. නමුත් දී තිබෙන ශිෂ්ට සම්පන්න මාවත තෝරාගන්නවා වෙනුවට, ගැටුම්කාරී මාවතක් තෝරා ගනු ලැබුවා.

 අරලියගහ මන්දිරය තුළ දිගින් දිගටම රැදී සිටිමින් දීපවාලි පණිවිඩ නිකුත් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය ඉතාමත් පහත්, මැතිවරණයකට පෙර ධුරය අහිමි වූ අගමැතිවරු මේ රටේ සිටියා. නමුත් ඒ කිසිවකුත් මේ ආකාරයට අරලියගහ මන්දිරය මූල කඳවුරක් බවට පත්කර ගනිමින්, ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලමින් කටයුතු කළේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මේ හැසිරීම උපයෝගීකර ගනිමින් බටහිර රටවල් අපේ රටේ මේ අභ්‍යන්තර ප‍්‍රශ්නය තමන්ගේ ප‍්‍රශ්නයක් බවට පත්කර ගනිමින් කටයුතු කළා.

    මේ ආකාරයට අරලියගහ මන්දිරය මූල කඳවුරක් බවට පත්කර ගනිමින් කටයුතු කරනු ලැබූ විට ජනාධිපතිතුමන්ට ගත හැකි පියවර තිබුණා. තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ ප‍්‍රධානතම සැකකරුවෝ තමයි අරලියගහ මන්දිරය තුළ රැදී සිටියේ. එහෙත් ජනාධිපතිවරයා ඉතාමත් ශිෂ්ට සම්පන්න ලෙසයි කටයුතු කළේ. නමුත් මේ ගැටුම දිගටම පැවතීම රටට සුබදායක වන්නේ නැහැ. බලයේ ඉන්න ආණ්ඩුවකට ඔය කියන 113 හදන එක ඒ හැටි කජ්ජක් නොවෙයි. අපි නොවෙයි එදා අනුර දිසානායක කිව්වේ ‘සල්ලි කඳු ගණට් ගොඩගහනවා නම් ඒ පැත්තේ ඉන්නවාට වඩා වැඩි

ගණනක් ආණ්ඩුවට එනවාට දෙනවා නම් 113 හදන්න බැරි ඇයි?’ කියලයි. ඒ වගේම අනුර දිසානායක කිව්වේ, ‘මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ පොලේ බඩු විකිණෙනවා වගේ විකිණෙන අය’ කියලයි. එහෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකගෙන් 113 නොවෙයි 125ක ආණ්ඩුවක් හදන එකත් අමාරු නැහැ. නමුත් ඒක ශිෂ්ට සම්පන්න නැහැ. 

    හිටපු අගමැතිවරයාගේ ක‍්‍රියා කලාපය මෙන්ම කථානායකවරයාගේ පක්‍ෂග‍්‍රාහී ක‍්‍රියාකලාපය ද මෙවැනි ගැටුමක් නිර්මාණය වීමට බලපෑවා. කථානායකවරයා ව්‍යවස්ථාවට පිටුපා බටහිර තානාපති කාර්යාලවල උපදෙස් මත ක‍්‍රියා කළා. නව අගමැතිවරයා පිළිනොගෙන ‘පැවති තත්වය’ පිළිගන්නා බවට ප‍්‍රකාශ නිකුත් කළා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට පිටුපෑවා. ජනාධිපතිතුමන් තමන්ට ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අගමැතිවරයකු පත් කළාම ඔහුට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසා දීම කථානායකවරයාගේ වගකීමයි. කරු ජයසූරිය මහතා ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කළා.

    ඒ නිසා මේ ගැටුම විසඳීමට වඩාත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙත අනුගමනය කරමින්, එහාට මෙහාට විකිණිය හැකිව තිබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් මගින් මේ රටේ බහුතර ජනතාව ප‍්‍රතික්‍ෂේප කරන ආකාරයෙන් ආණ්ඩුවක් හැදීම අතහැර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එසේ විසුරුවා හැරීමෙන් පසුව එම ගැටුම නිරාකරණය කිරීමේ අවස්ථාව කාටද ලැබුණේ ? මේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි කෝටි එකහමාරක ඡන්දදායක ජනතාවට. ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබෙනවා. ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මේ ගැටුම තවත් උග‍්‍ර වෙනවා’ කියා. මට නම් ඒක තේරෙන්නේ ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් මහා මැතිවරණයකට යාමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන්නේ කෙසේ ද? කියා. ''