https://www.gossiplankanews.com/2018/10/wijedasa-rajapaksa-speaks.html
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ නව රජයේ  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා වත්මන් තත්වය ගැන ඊයේ සිදුකළ විශේෂ සාකච්ඡාවක් පහත පළවේ.

ප‍්‍රශ්නය - ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යහපාලන එකඟතාවයෙන් ඉවත්වී මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය පිරිනමමින් අලුත් ආණ්ඩුවක් බිහි කිරීම නීති විරෝධී
හා ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවට රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාපය චෝදනා කරනවා. මේ චෝදනාවේ සත්‍ය අසත්‍යතාව මොනවගේ ද?

පිළිතුර - මේ චෝදනාව සත්‍යයක් නෙවෙයි. මෙහි කිසිදු නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී බවක් අමුතුවෙන් සනාථ කරන්න දෙයක් නැහැ. ව්‍යවස්ථානුකූලයි. මේකට ළඟම උදාහරණ ලෙස අපට ගන්න පුළුවන්කම තියෙන්නෙ 2015 මහ මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු බහුතරයකගේ විශ්වාසය ලබාගත හැකි වේ යැයි විශ්වාස කරන පුද්ගලයා අගමැතිවයා ලෙස පත් කරන්න කියලා. එතකොට අපි 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ වහාම, ඔහුගේ අභිමතය වුණේ විපක්‍ෂ නායකවරයා අගමැති කළ යුතුයි කියල. ඒ වනවිට අගමැතිකම

දැරූ දි. මු. ජයරත්න මහතා ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුණා ආසන 162 ක්. එජාපයට තිබුණේ ආසන 41 යි. අමතරව හයදෙනෙක් එකතු වුණා. ඔක්කොම 47 යි. ඒ 47 න් තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති ලෙස ජනාධිපතිතුමා විසින් පත් කළේ. එතකොට එදා දි. මු. ජයරත්න අගමැතිතුමා ඉල්ලා අස්වීමේ ලිපියක් දුන්නේ නැහැ. එතුමාව අස්කරල ආණ්ඩුවෙන් ලියුමක් ගැහුවා. ඒ ලියුම ගහල තියෙනවා. ජනාධිපතිතුමාගේ ෆයිල් එකේ තාම ඒ ලිපිය ඇති. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කියල ඊළඟ ලිපිය ගැහුවා. එහෙමයි එදා අගමැති පත් කළේ. ඒ ක‍්‍රමවේදයම තමයි අදත් අනුගමනය කරල තියෙන්නේ. මේ ක‍්‍රමවේදය වැරදි නම් 2015 ජනවාරි 9 දා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පත්වීමත් වැරදියි. නමුත්, අප මතක තබා ගත යුතුයි ගොඩක් අයගේ වැරදි වැටහීමක් තියෙනවා 19 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිකම පඹයෙක් කළා කියල. එහෙම දෙයක් වෙලා නැහැ. විධායක ජනාධිපති විධායක ජනාධිපතිම තමයි. යම් බලතල ප‍්‍රමාණයක් ඉවත් කරල වෙනත් ආයතනවලට පවරල තියෙනවා. ඒක තමයි නීතිමය තත්ත්වය.

ප‍්‍රශ්නය - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකින් එය පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවද?

පිළිතුර - වගන්තියකින් පැහැදිලි කරනවනම් 42(4)වගන්තියේ පැහැදිලිව තිබෙනවා, අග‍්‍රාමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය කි‍්‍රයාත්මක වන තාක් කල් අග‍්‍රාමාත්‍ය ධුර දැරිය හැක කියල. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය විට අග‍්‍රාමාත්‍ය තනතුර නිකම්ම අහෝසි වෙනවා. ඉතිං අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරියා. ඊට අමතරව අග‍්‍රාමාත්‍යවරයාට අස්වීමේ ලිපියක් යැව්වා, ඊට පස්සේ අලුත් අගමැති පත් කළා. ඒක තමයි අලූත් අගමැති පත් කළ ක‍්‍රමය. ඒ ක‍්‍රමය නීත්‍යානුකූලයි ව්‍යවස්ථානුකූලයි.

ප‍්‍රශ්නය - එජාපය චෝදනා කරනවා. සන්ධාන රජයේ එක පාර්ශ්වයක් ඉවත් වුණාට ආණ්ඩුව කඩා වැටෙන්නේවත්, අගමැතිවරයා වෙනස්වන්නේත් නැහැ කියල.

පිළිතුර - ඒක අදාළ නැහැ. ජනාධිපතිවරයා රජයේ නායකයා. ආණ්ඩුවේ නායකයා සහ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා. ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඕනෑම වේලාවක කැබිනට් මණ්ඩලය විසුරුවන්න. මොන පක්‍ෂයේ ඉන්නවාද නැද්ද එතුමාට අදාළ නැහැ. ඒ නිසා ඒ චෝදනාවෙන් ඵලක් නැහැ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා නම් අගමැතිත් අහෝසි වෙනවා. ජනාධිපතිවරයාට අභිමත අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් ඉන්පසු පත් කරන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ඒක.

ප‍්‍රශ්නය - තවත් චෝදනාවක් තමයි මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතිකමින් යුත් නව ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරයක් නැහැ කියන එක. එජාපය කියන්නේ ඒ බහුතරය පෙන්වන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.


පිළිතුර - බහුතර බලයක් කියන එක අපට, එහෙමත් නැත්නම් ආණ්ඩුවට එච්චර අදාළ කාරණයක් නෙමෙයි. කලින් මම කිව්ව පරිදි 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා පිහිටවන ලද්දේත් පාර්ලිමේන්තු බහුතර බලයක් ඇති ආණ්ඩුවක් නෙමෙයිනේ. බහුතර ආණ්ඩුවක් හදන්න අපටත් පුළුවන්. අපිත් බහුතර බලය හදනවා. එජාපයෙන් තවත් පිරිස් ආණ්ඩුවට ඒවි කියල අපට විශ්වාසය තියෙනවා.

නමුත්, පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායක් නැහැ විශ්වාසය තියෙනවා කියල ඡන්ද ගන්න. ඡන්දයක් ගන්න පුළුවන් විශ්වාසයක් නැත්නම් විතරයි. ප‍්‍රශ්නය වෙන්නෙ ආණ්ඩුවට පනත් සම්මත කරගන්න බහුතරයක් ඕන. පනතක් බහුතරයෙන් සම්මත නොවුණොත් නීත්‍යානුකූල නොවී අහෝසි වෙනවා. ආණ්ඩුවට ප‍්‍රධානම ප‍්‍රශ්නය වෙන්නෙ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සම්මත කර ගැනීමයි. අයවැය ලේඛනය සම්මත කරගන්න ක‍්‍රමවේදය ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ඒ ක‍්‍රමයට ගිහින් සම්මත කරගන්න බැරි වුණොත්, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. ඒකට සන්ධානයේ අය කැමැති වේවි. මොකද ඒ අය ඉල්ලන්නෙ මැතිවරණයක්නෙ. එහෙම වුණොත් එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍ර ආසන 105 කොයි තරම් පල්ලමට බහීද දන්නේ නැහැ.

ප‍්‍රශ්නය - මෙවර අයවැය පරාජයට පත්වේවිද?

පිළිතුර - පරාජයට පත්වුණොත් ආණ්ඩුව විසිරුවා හැර මැතිවරණයකට යාවි.

ප‍්‍රශ්නය - එළැඹෙන 16 දා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමේදී ආණ්ඩුවට බහුතරයක් පෙන්වන්න පුළුවන් වේවිද?

පිළිතුර - පුළුවන් වේවි. ඒ හා සම්බන්ධව කටයුතු කෙරෙමින් පවතිනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ සම්ප‍්‍රදායක් නැහැ. එසේ නම් විශ්වාසභංගයක් ගෙනැත් පක්‍ෂ නායකයන් එකඟ වී ඒ සඳහා දින යොදාගෙන ඡන්දයකට යන්න ඕන. ඒ නැතිව විශ්වාසය පෙන්වන ක‍්‍රමවේද, අපේ පාර්ලිමේන්තුව තුළ නැහැ. පනතක් සම්මත කිරීමේදී විශ්වාසය පෙන්විය හැකියි හෝ විශ්වාසභංගයකින්.

ප‍්‍රශ්නය - අලූත් ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ විදේශ බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබෙනවා. ඇමරිකාව පවා ප‍්‍රකාශ කර තිබෙනවා පාර්ලිමේන්තුව වහාම කැඳවා ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න කියල. ආණ්ඩුවෙන් මේකට කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ.

පිළිතුර - ජාත්‍යන්තර මැදිහත්වීම්වලට පාර කපන්නේත් අපේ අයමනෙ. නමුත් විදේශීය ඉල්ලීම් බලපෑමක් නෙමෙයි. විදේශයන් කියන කියන දේ කරන්න ආණ්ඩුව ලැහැස්ති වෙලාද ඉන්නෙ කියල අපි අහන්න ඕන. යුද්දෙ කියල කොයි තරම් විදේශ බලපෑම් ආවද යුද්දෙ නවත්තන්න කියල. කවුද ඇහුම්කන් දුන්නෙ. රටක අභ්‍යන්තර ප‍්‍රශ්නවලට එහෙම මැදිහත්වෙන්න පුළුවන්ද?


ප‍්‍රශ්නය - රටේ ආර්ථිකය බරපතළ විදිහට අර්බුදයට ලක්ව තිබෙනවා. ඩොලරයේ මිල ඉහළ යෑම, ඉන්ධන මිල සූත‍්‍ර වැනි දෑ මගින් ජනතාවගේ ජීවන වියදම දරන්න බැරි විදිහට ඉහළ ගිහින් අලූත් ආණ්ඩුවෙන් මේ සඳහා ඉක්මන් සහනයක් ලැබේවිද? ඒ සඳහා සැලසුමක් තිබෙනවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම. අලූත් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා බවට පත් වුණේ හිටපු ජනාධිපතිතුමා. අලුත් අගමැතිතුමා. එතුමන් සමඟ ඉන්න ආර්ථික විශේෂඥයන් සමඟ එකතුවෙලා අපට විශ්වාසයක් තියෙනවා එතුමාට අපට මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් කියලා. අපේ අරමුණ වෙලා තියෙන්නේ දේශීය ව්‍යාපාරිකයන් උසුලන බදු බරින් ඔවුන්ට සහන සලසා ආර්ථිකය යහපත් කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන්න, තීන්දු තීරණ ගන්න තරම් අපට තවමත් කාලයක් ලැබුණේ නැහැ.

ප‍්‍රශ්නය - සෑම මසකම 10 වැනිදාට ජනතාවගේ හිස මත කඩා වැටෙන ඉන්ධන මිල සූත‍්‍රය වගේ දෑ සඳහා සහන සැලසේවිද?

පිළිතුර - ඉන්ධන මිල සූත‍්‍රය ඉවත් කරයි. ඒක හිටපු මුදල් ඇමැතිතුමාගේ හිතුවක්කාරී වැඩක්. ඒකට අපි කැමැති නැහැ. ඉන්ධන මිල සූත‍්‍ර හොඳයි සමහර රටවල්වලට. නමුත් අපි වගේ ආර්ථිකයක් පවතින රටවලට ඒක ගලපගන්න එක සුදුසු නැහැ.

ප‍්‍රශ්නය - එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු වූ ඔබ අලූත් ආණ්ඩුවට එකතු වන්න තීන්දු කළේ ඇයි?

පිළිතුර - මම ආපු දවසෙ ඉඳන් මේ ආණ්ඩුවත් එක්ක රණ්ඩු කරල හති වැටිල හිටියෙ. මොකද අපි කියපු ප‍්‍රතිපත්ති එකක්වත් අපට කි‍්‍රයාත්මක කරගන්න බැරි වුණා. රටේ සම්පත් විකුණන එක නවත්තන්න පොරොන්දු වුණා. නමුත් ආපු දවසෙ ඉඳන්ම කළේ විකුණපු එක තමයි.

හම්බන්තොට වරාය දුන්නා. කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න අගමැතිතුමා පොරොන්දු වෙලා. කැබිනට් එකේදී අපට ඒවට රණ්ඩු වෙන්න සිදු වුණා. එතකොට ති‍්‍රකුණාමලය වරාය දෙන්න ලැහැස්ති වුණා. මත්තල විකුණන්න ලැහැස්ති වුණා. මේවගේ පුළුවන් තරම් විදේශිකයන්ට දුන්නම අපේ ස්වෛරීභාවය අපට නැතිවෙනවා. අක්කර දහස් ගණනක් හම්බන්තොටින් චීනයට දෙන්න ලැහැස්ති වුණා. සමහර ඒවා දුන්නා. රට ගැන හැඟීමක් නැතිව එජාප නායකත්වය මේ තීන්දු ගත්තා. අපේ කෘෂිආර්ථික ප‍්‍රතිපත්තියට පයින් ගැහුවා. මේ ක‍්‍රමවේදය තුළ ආර්ථිකය කඩා වැටුණා. ආර්ථිකය හසුරුවන්න දුන්නේ නැහැ. අපට, රටට මේ විදිහට තවත් ඉදිරියට යන්න බැහැ.

ඒ නිසා මම විශ්වාස කරන දෙය තමයි පක්‍ෂයට කලින් රට ගැන ඉස්සරවෙලා හිතන්න ඕන. රට තිබුණොත් තමයි දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුව නිසා තමයි මම මේ ආණ්ඩුවට එකතු වෙන්න තීන්දු කළේ. මොකද ජනාධිපතිතුමයි, වත්මන් අගමැතිතුමයි රට විකුණන ප‍්‍රතිපත්තියක නැති, රට ජාතිය ගැන හිතන නායකයන් දෙදෙනකු නිසා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නෙ රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයට සුදුසු නැතැයි කියන එකද? වෙනත් නායකයකු එජාපයට පත්විය යුතුද?

පිළිතුර - ඔව්. පැහැදිලිවම රට ගැන හිතන නායකත්වයක් එජාපයට ඇත්තෙම නැහැ. මොකක් හෝ වැඩක් කළොත් බටහිර ගැති, රණවිරුවන් පාවා දෙන, සුද්දන් ඇවිත් අපට නීති දාන කටයුතුවලට තමයි තැන හදන්නෙ.

එහෙම අපට නිවට වෙන්න බැහැ. අපි දුප්පත්, පුංචි රටක් වුවත් එහෙම වෙන්න බැහැ. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව ස්වෛරීත්වයෙන් අප ඕනම රටකට සමානයි. අපි යටත් වෙන්න ලැහැස්ති විය යුතු නැහැ.

ප‍්‍රශ්නය - ඔබතුමා එජාප ජ්‍යෙෂ්ඨයකු ලෙස මේ ආණ්ඩුවට එකතු වූ ආකාරයට තවත් එජාප ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුවට එකතු වෙයිද?

පිළිතුර - දැනටමත් අහනවා. කතා කරනවා. ඉදිරියේදී තවත් කිහිපදෙනකුම එකතු වෙනවා. අනිවාර්යයෙන් අපි පාර්ලිමේන්තු බහුතරය හදනවා. නැති වුණොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. තාමත් අපේ ආණ්ඩුව කියකියා ඔය කෑගහන අයට එදාට පිළිතුරක් ලැබේවි.