සිය බිරිය වූ දෙදරු මවක අනියම් පුරුෂයකු සමඟ සබඳතාවක් පවත්වන බවට සැක කර ඇයට නිවෙස තුළදී අමානුෂික වධ හිංසා සිදුකර හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය
කර නිවෙස පිටුපස ළිඳ අසල සිරස් අතට වළ දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරීපත් කළ ඇගේ  සැමියා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරතුංග මහතා නියෝග කළේය.


මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  නුවර පාර, තම්මැන්නාකුලම, නෙළුකුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි වියන්නලාගේ  නීල් කුමාර (43) නැමැත්තාය. එම ලිපිනයේ පදිංචිව සිටි ඉරේසා මල්කාත්ති කුමාරිහාමි (41) නමැති දෙදරු මව සැමියා අතින් ඝාතනයට ලක්ව තිබූ අතර ඔහු බිරිය ඝාතනය කර පලා යමින් සිටියදී පසුගිය 28දා අලුයම අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදී  අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට
ගෙන තිබිණි.

ඇය සැමියා සමඟ අමනාප වී නිවෙසින් පිටව ගොස් සිටියදී සැකකරු ඇයව ඝාතනය කරන බවට කල්තියා සැලසුම් කර ළිඳ අසලින් අඩි දෙකයි දෙකක් පළල අඩි හයක් පමණ ගැඹුර වළක් හාරා බිය උපායශීලීව නිවසට කැඳවාගෙන පැමිණ ඇය සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා 27දා රාත්‍රී අටට පමණ කාමරය තුළදී පොරෝ මිටකින් හා පොල්ලකින් හිසට පහරදී ඝාතනය කර නිරුවත් සිරුර ළිඳ අසලට රැගෙන ගොස් සිරස් අතට වළ දමා තිබියදී සොයාගත් බව පොලිසිය අධිකරණයට පැවැසුවේය. සැකකරු විසින් ඇය ඝාතනයට යොදා ගත් බවට සැක කරන ලේ තැවැරුණු පොලු කැබැල්ලක් නිවෙස තුළ තිබී සොයා ගත් බවත් අධිකරණයට සැලකර සිටියේය.



-මහේෂ් විජේසුරිය-