කුඩා ළමයින් යොදාගෙන බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ රැගෙන යන ජාවාරමක් හෙළි කර ගැනීමට අගුණකොළපැලෑස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබෙන පොලිස් විශේෂ කාර්ය
බළකා නිලධාරින් සමත්ව තිබේ. සිරකරුවන් හා සැකකරුවන් බැලීම සඳහා බන්ධනාගාර වෙත යන ඥාතීන් ඔවුන් රැගෙන යන කුඩා දරුවන්ගේ කලිසම් හා කමිස සාක්කුවල හා යට ඇඳුම් තුළ සඟවා එකී තහනම් භාණ්ඩ රැගෙන ගොස් බන්ධනාගාරගත සිරකරුවන්ගේ හා සැකකරුවන්ගේ අතට පත් කරන බවද

විශේෂ කාර්ය බළකාය අනාවරණය කරගෙන ඇත.

ඥාතීන් රැගෙන යන එම කුඩා දරුවන්ව සුරතල් කරන මුවාවෙන් තමන් අසලට කැඳවා ගන්නා එකී සැකකරුවන් හා සිරකරුවන් එම දරුවන්ගේ කලිසම්, කමිස සාක්කු තුළ හා යට ඇඳුම් තුළ සගවා තිබෙන සිම් කාඩ්පත්, මුදල් හා මත්ද්‍රව්‍ය ලබා ගන්නා බවද විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබේ. තවද භාවිතයට නොගත් සුරන ලද ෆෝන් කාඩ් එකී දරුවන් මඟින් රැඳවුවන් අතට පත් කරන බවද එසේ දීමෙන් පසුව එකී රැඳවූවන් එම අංක මතකයේ හෝ ලියා තබාගෙන බන්ධනාගාර ඇතුළතදී ජංගම දුරකථනවලට දමා භාවිතයට ගන්නා බවද අනාවරණය කරගෙන තිබේ. පසුගියදා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු භාරගත් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් පිරිසක් එම බන්ධනාගාරය වෙත පැමිණ සිටි කුඩා දරුවන් පරික්ෂා කිරීමේදී එක් දරුවකුගේ කමිස සාක්කුවක සිම් කාඩ්පත් පහක් හා මුදල් තිබී සොයා ගැනීමෙන් පසුව එකී ජාවාරම හෙළි කරගෙන ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විමසීමේදී බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් බන්ධුල ජයසිංහ මහතා කියා සිටියේ ඉදිරියේදී බන්ධනාගාරය තුළ සිදු කෙරෙන එවැනි ජාවාරම් හෙළි කර ගැනීමට උපරීම ක්‍රියාමාර්ග ගන්නා බවය.

-කුමුදු උපුල් ශාන්ත-