යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළේයැයි චෝදනා කර තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම
මූලික අයිතිවාකම් උල්ලංඝනය වී ඇති බව  එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ පස් දෙනෙක් ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසීකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ වි.එස්.ඩී. එදිරිසිංහ, වී.ඒ.කසුන් ගයාන්, කේ.එම්.ජී.එස් උදය කුමාර. එස්. උදයප්‍රසාත්

සහ කේ.කේ.කේ.එස්. කන්නන්ගර යන සිසුන් පස්දෙනා විසිනි.
මෙහි වගඋත්තරකරුචන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන්, යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී. මංගලේවරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ නීතිපති ඇතුළු නව දෙනෙක් නම්කරනු ලැබ සිටිති.
පෙත්සමිකරුවන් කියා සිටින්නේ යාපනය විශ්වචිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදු පිළියමක් තැම්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මාසයේදී සුදානම් වූ බවය.
මේ සබ්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් කිසිදු විරෝධයක් එල්ල නොවූ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ එහෙත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ලකොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවද කියා සිටිති. මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලයේ විභාගවලට පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවද පෙත්සම්කාර ශිෂ්‍යයෝ සඳහන් කරති. විශ්වවිද්‍යාල බලධාරින් තමන්ට මෙසේ තහනමක් පැනවූවත් එල්.ටී.ටී.ඊ.යට සහය පළ කෙරෙන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණතාවක් බාධාවකින් තොරව විශ්වවිද්‍යාලය තුළ පැවැත්වීමට බලධාරින් ඉඩදී තිබූ බවද පෙත්සමෙකරුවෝ කියා සිටිති.
යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යචස්ථාවෙන් සහතික කර තිබෙන ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්වචිද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපන කටයුතු වල යෙදීමට සහ විභාගවලට පෙනී සිටීමට අවසර දෙන ලෙස විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.