https://www.gossiplankanews.com/2018/10/doctor-kavinga-court-absent.html
සුගියදා රටේ ආන්දෝලනයක් ඇති කරමින් පැපිලියාන ප‍්‍රදේශයේදී පොලිස් පරීක්‍ෂකවරයෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර සිදු කළ බවට සැකකරන විශේෂඥ වෛද්‍ය කවිංගා ගුණවර්ධන ඇවිදීමට අපහසු බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
එම අනතුර සිදු කළ අවස්ථාවේ ඇය වෙනුවෙන් කළුබෝවිල රෝහල පළමු වෛද්‍ය වාර්තාව ලෙස මුඛයෙන් මත්පැන් ගඳ වහනය නොවූ බව
ප්‍රකාශ කළ අතර එය සාවද්‍ය බව පොලිස් පරීක්ෂණයකින් එළි විය.
අනතුරුව ඇය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ ඇය වෙනුවෙන් දෙවන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇයට රෝහල් ගතවී ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බවත් බන්ධනාගාරයට යැවිය නොහැකි බවටත් නිර්දේශ කර තිබුණි.
ඒ අනුව සුළු තුවාල සිදුවූ බවට වාර්තා පළව තිබෙන ඇයට අනතුර සිදුවූ දින සිට දින 10 ක් තිස්සේ රෝහලින් නිදහස් නොකර බන්ධනාගාර නිලධාරිනියන්ගේ ආරක්ෂාව මැද කළුබෝවිල රෝහලේ ඇදක් වෙන් කර තිබුණි.
අනතුරුව ඊයේ 9 වනදා

ඇයගේ අනතුර සම්බන්ධ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අවස්ථාවට ඇය පැමිණියේ නැති අතර තුන්වෙනි වෛද්‍ය වාර්තාව අධිකරණයට යොමු කර දන්වා සිටියේ වෛද්‍යවරියගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇය තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන බවත් ඇයට ඇවිදීමේ අපහසු තත්ත්වයක්‌ පවතින බවත්ය.

මියගිය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ මව වන කුසුමාවතී පෙරේරා මහත්මිය අධිකරණයේ හඬමින් සිටි බව අධිකරණ වාර්තාකරු සඳහන් කර තිබේ. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්‌වූ රථවාහන භාර නියෝජ්‍ය පොලිස්‌පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙසේ පැවසීය.

ස්‌වාමීනි, නීතිය කාටත් එක හා සමාන විය යුතුයි. වෛද්‍යවරියකට එක නීතියක්‌ පොලිසියට එක නීතියක් මහජනයාට එක නීතියක්‌ වෙන්න බැහැ. මේ අනතුර පොලිසිය හෝ සාමාන්‍ය මිනිසකු අතින් සිදුවුණා නම් තත්ත්වය මීට වඩා වෙනස්‌ වෙන්න තිබුණා. මැය වෛද්‍යවරියක්‌ නිසා තත්ත්වය වෙනස්‌වෙලා. මේ වෛද්‍යවරියට පොලිසිය ලබාදුන් බැලුමේ පැහැදිලිවම

මත්පැන් පානය කළ බවට ඔප්පුවෙලා තියෙනවා.
ස්‌වාමීනි මෙම වෛද්‍යවරියගේ රොහලේ ඇඳ ඉහපත තවමත් කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් අපිට ලබාදී නැහැ. ඒ නිසා අපි මේ ඇඳ ඉහපත ලබා දෙන්න කළුබෝවිල රෝහල් අධ්‍යක්‍ෂවරයාට නියෝගයක්‌ ලබා දෙන්න කියා මහෙස්‌ත්‍රාත්තුමියගෙන් ඉල්ලා සිටිනවා. මේ වෛද්‍යවරියට ඇප නොදෙන ලෙස අප මහෙස්‌ත්‍රාත්තුමියගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ ඇයට ඇප ලබා දුන්නොත් අර ඇඳ ඉහපතට
හානියක්‌ වෙන්න පුළුවන්.

මැයට ඇප ලබා දුන්නොත් මහජන කැළඹීමක්‌ වෙන්නත් පුළුවන්. මැයට විදේශ ගත වෙන්න දෙන්න එපා. අනික මැය තාමත් කළුබෝවිල රෝහලේ ඉන්නේ. මැයට වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබා දෙන්න කියලා බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක්‌ ලබාදෙන හැටියටත් ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා

මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මහජන කැළඹිල්ලක්‌ නැහැ. මිනීමැරුම් නඩුවක්‌ ස්‌ත්‍රී දූෂණ නඩුවක්‌ තිබුණොත් මෙච්චර පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ අධිකරණයේ ඉන්නවද? ඒත් අද මේ නඩුවට පොලිසියේ විශාල පිරිසක්‌ ඇවිල්ලා. සීඅයිඩී මහත්වරුයි, ලොකු ලොක්‌කොයි ගොඩක්‌ ඇවිත්. මම හිතන්නේ මේ සිද්ධියෙන් මහජනයා නෙවෙයි කැළඹිලා තියෙන්නේ පොලිසිය. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍යවරියට නිසි
ප්‍රතිකාර තවත් ලැබෙන්න ඕනෑ. මැය උසාවිය හමුවට ආවේ නැත්තේ ඇවිදීමේ අපහසුතාව නිසයි. මැයට අවුරුදු 10 ක දරුවකුත් ඉන්නවා.

ඇප පනතේ ප්‍රතිපාදන අනුව ඔබතුමිය නිගමනයට එන්න.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් බටුලන්ද මහතා අධිකරණයට කරුණු දක්‌වමින් මෙසේ කීය.

මියගිය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ බිරිඳ සහ වැඩිමල් පුතා කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබනවා. ඔවුන්ට සැත්කම් කිහිපයක්‌ ද කර තිබෙනවා. බිරිඳගේ මොළේ තැලිලයි තියෙන්නේ. වැඩිමල් පුතුගේ පාද දෙකේම අස්‌ථි බිඳිලා. පස්‌ හැවිරිදි පුතු ළමා රෝහලේ තවම ප්‍රතිකාර ලබනවා.
ඒ පුතුගේ සුෂුම්නාවට හානි සිදුව තිබෙනවා. ඒ වගේම අක්‌මාව සීරීමකට ලක්‌ව තිබෙනවා. මේ වනවිටත් ඔවුන්ට විශාල මුදලක්‌ වැය කරන්න සිදුව තිබෙනවා. ඒ නිසා මහෙස්‌ත්‍රාත්තුමිය මොවුන්ට සානුකම්පිත දීමනාවක්‌ ලබාදීමට නියෝගයක්‌ ලබාදෙන ලෙස ඔබතුමියගෙන් මා ඉල්ලා සිටිනවා.

වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය නඩුව මොහොතකට කල් තබා අනතුරුව කළුබෝවිල මහ රෝහලට ගොස්‌ සැකකාර වෛද්‍යවරිය නිරීක්‍ෂණයට ලක්‌ කළාය. මෙහිදී වෛද්‍යවරුන් ඇයට අද (10 වැනිදා) ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට නියමිත බව වැඩබලන මහෙස්‌ත්‍රාත්වරියට දන්වා ඇත.
අනතුරුව යළි පස්‌වරු 2.30 ට පමණ නඩුව විභාගයට ගත් නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය
සියලු කරුණු සැලකිල්ලට ගෙන වෛද්‍යවරිය මෙම මස 16 වැනිදා තෙක්‌ යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.