දරුවන් 14 දෙනකු මෙලොවට බිහිකර දරුවන් 12 දෙනකු ලේ කිරි කර පොවා උස්මහත් කළ වයෝවෘද්ධ මව නිවසේ දොර කඩා දමා හොර රහසේ එහි ඇතුළු වී රුපියල් කෝටි එමාරක රන් ආභරණ ඇතුළු දේපළ රැසක් සොරාගෙන ගිය බව පවසමින් රාජ්‍ය සේවයේ නියුතු පුත්‍රයකු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ
අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව පෙරේදා (8) සිට විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

පළාත් තක්සේරු දෙපාර්තමේන්තුවේ කළමනකාර සහකාරවරයකු වශයෙන් සේවය කරන අයකු විසින් 73 හැවිරිදි මවට හා ඔහුගේ සහෝදර සහෝදරියන් නව දෙනකුට එරෙහිව පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අතර ඇවිදීමට පවා අපහසු තත්ත්වයෙන් සිටින මව බාල පුත්‍රයාගේ පැමිණිල්ල හේතුවෙන් ප්‍රකාශ ලබාදීම සදහා පෙරේදා (8දා) පොලිස් ස්ථාන දෙකකට හා උසස් නිලධාරියකු හමුවට ගොස් තිබේ. අංක 35/27 නිතුල්ගොල්ලෑව, ජනසිරීගම, හුරුලුනිකවැව, ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචි එස්.එම්. ධනවතී (73) මහත්මියට එරෙහිව පවුලේ බාල පුත්‍රයා විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

රුපියල් කෝටි එකහමාරක් වටිනා රන් ආභරණ තොගයක් සමඟ නිවසේ බඩු බාහිරාදිය මෙන්ම වී මිටි 100ක් මව සොයාගෙන තිබෙන බව පවසමින් බාල පුත්‍රයා

තමන්ට හා තම දරුවන් නව දෙනකුට එරෙහිව චෝදනා කරමින් පොලිසියට පැමිණිල්ල ඉදිරීපත් කර ඇති බව ඈ පැවැසුවාය. සිය කුසින් වැදු දරුවා වසර ගණනාවක් තිස්සේ සිදුකරන අඩත්තේට්ටම් විඳදරා ගැනීමට නොහැකිව දැඩි මානසික පීඩාවට පත්වී සිටින මව මෙසේ පැවැසුවාය. "නිවෙසේ දොර ඇරලා හොරෙන් ඇතුළු වෙලා මම කෝටි ගණනක බඩු හොරකම් කරලා කියලා මගේ බාල පුතා මට විරුද්ධව පැමිණිල්ලක් දාලා. නාවික හමුදාවේ ඉන්න පුතත් ඒකට සම්බන්ධයි. ජීවිත භුක්තිය තියෙන නිවෙසට මට ඕනම අවස්ථාවක ඇතුළු වෙන්න පුළුවන්. එයාම ඇවිල්ලා දොරවල් ඇරලා ලොරී කීපයක බඩු පටවාගෙන ගියා මම බලාගෙන ඉද්දී. ඔය ගෙදර අවුරුදු 5ක් තිස්සේ වහලා තිබ්බේ. ඒ අවුරුදු පහේම පදිංචි වෙලා හිටියේ වවුල්ලු.

මම පහුගිය සතියේ ගෙදර වහලා තියෙන නිසා පදිංචි වුණා. නිවස විකුණා ගන්නෙ මම මැරෙනකම් ඉන්න වෙන නිසා මාව ගෙදරින් එළියට දාන්න තමයි ඔය වැඩ කරේ. වහලා තිබ්බ නිවසේ රුපියල්  කෝටි එකහමාරක රත්රන් තිබ්බලු. එයා ඉන්නේ අනුරාධපුරේ. එතකොට මේ කැලේට වැහිලා තිබුන නිවසේ තමයි රත්රන් බඩු තියලා ගිහින් තියෙන්නේ. මම දරුවෝ 14ක් වැදුවා. දෙනෙක් මියගියා. දරුවෝ 12ක් හැදුවා. හැම දරුවෙක්ම හොඳ රස්සාවල් කරමින් සමාජයේ හොඳට ඉන්නවා. ඔය පුතා මගේ ජීවිත භුක්තිය තියෙන නිවසට හොර ඔප්පුවකුත් හදලා තියෙන්නේ. නිවස අයිති ගලෙන්බිදුණුවැව නගරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුතාට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ නිලධාරීන් එකතු කරගෙන තමයි ඒ වැඩේ කරගෙන තියෙන්නේ. දැන් මාව ගෙදරින් එළියට ඇදලා දාන්න විදියක් නැති නිසා කොළඹ ප්‍රදේශයේ පදිංචිව ඉන්න ළමයි පවා මේ හොරකමට සම්බන්ධ කරලා බොරුවට පොලිසියේ පැමිණිලි දාලා.

ගෙදර ඇතුළේ තියන නාන කාමරයේ තිබ්බ වැසිකිළි පෝච්වියේ ඉඳන් ගලවලා අරගෙන ගිහිල්ලා. හදපු වඩපු අම්මා හොරෙක් කියලා ගමට රටට පෙන්නන්න හදනවා. මට අවසන් කලෙවත් නිදහසේ ඇහැ පියා ගන්න දෙන්නෙ නෑ. මීට ඉස්සෙල්ලත් බොරු පැමිණිලි දාලා මාව පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. මම මරණ තර්ජනය කරනවා කියලා 119 පැමිණිලි කරලා මාව අත්අඩංගුවට ගන්න ආපු නිලධාරීන්ට මාව දැකලා හිනා ගියා. අම්මද  මේ පුතාට මරණ තර්ජන කරන්නේ කියලා ඇහුවා. දරුවෝ 12 දෙන්නෙක් ලොකු මහත් කරලා අද එක දරුවකු නිසා මම පුදුම දුකක් විදින්නේ" යනුවෙන් ඈ හැඬු කඳුළෙන් පැවසුවාය. වයෝවෘද්ධ මව විසින් සොරකමක් සිදුකළේද්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විවිධ අංශ ඔස්සේ  විශේෂ විමර්ශනයක් සිදුකරන අතර පිටස්තර රථ වාහන කිහිපයක් පැමිණ නිවෙසේ තිබූ බඩු බාහිරාදිය රැගෙන ගිය බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

පෞද්ගලික කෝත්තරයක් පිරිමසා ගැනීම සඳහා වයෝවෘද්ධ මව අපහසුතාවට පත්කිරීමට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්ද යන්න අනාවරණය කර ගැනීමටත් පොලිසිය විශේෂ පරීක්ෂණයක් සිදුකරයි.  රජයේ නිලධාරියකු වන සිය බාල සහෝදරයාට රුපියල් කෝටියකට අධික රන් ආභරණ තොගයක් නිවෙසේ සඟවා තැබීමට තිබේ නම් ඔහු සත්තකයේ තවත් රුපියල් කෝටි ගණනක වත්කම් තිබිය හැකි බවත් ඔහු ඒවා උපයාගත් ආකාරය පිළිබඳව මෙන්ම රජයට ආදායම් බදු ගෙවන්නේද යන්න සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු ආයතන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සහෝදරයන් පිරිස අවධාරණය කළහ.

-මහේෂ්  විජේසුරිය-