https://www.gossiplankanews.com/2018/10/amara-ranatunga-passed-away.html#more
ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට හෘදයාබාධයකින් ඇය මියයන විට
79 වැනි වියේ පසු විය.ආචාර්ය දයාරත්න රණතුංගගේ ආදරණීය බිරිඳ වූ ඇය තිදරු මවකි.
අමරා -දයාරත්න  එක්ව ගැයූ ගීත

මෙන්ම තනිව ගැයූ ගීත කිහිපයක්ම ජනප්‍රියත්වයට පත්ව තිබේ. සපුමල් සුවඳක් සේ , සැලලිහිනියෝ නුඹ දන්නෙ නෑ, එක කිරුළක්,මහ රෑ යාමේ, රාධා ක්‍රිෂ්ණා ඒ අතරින් කිහිපයකි.
දයාරත්න - අමරා යුවළ සංගීත ක්‌ෂේත්‍රයට පිවිසියේ ගුවන්විදුලියේ ළමා පිටියෙනි. එවක අමරා කස්‌තුරිආරච්චි වූ ඈ දයාරත්න රණතුංග සමග විවාහ වී වසර 52 ක්  සම්පූර්ණ වී ඇත.
 දයාරත්න අමරා යුවළගේ පුතුන් දෙදෙනා පුලස්‌ත ඉන්දික, නන්දිත සාරද සහ දියණිය කුමද්මති දීපශිකාද, ලේලිය සධානා රණතුංගද සංගීතයට නැඹුරුවූවන්ය. සියල්ලන් සංගීත විශාරදයන්ය.  මුණුබුරන් දෙදෙනා ඔසද චමිත් සහ සහිෂ අරුන්ද ගී ගයති.

සමුගත් අමරා රණතුංග මහත්මිය ‍කැලණිය විශ්වවිද්‍යාලයේ ස්‌ථිර ආචාර්යවරයෙක්‌ වූයේ 1964දීය. අනතුරුව ඇමරිකාවේ කැලිෆොනියා විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රීය සංගීතය පිළිබඳ ආචාර්යවරියක ලෙස කලක් කටයුතු කළ අතර ලංකාවේ ජන ගී, ශාන්තිකර්ම පිලිබඳව සුදු ජාතිකයින් දැනුවත් කිරීමද සිදු කළාය.

ඉන්පසු ශ්‍රී ලංකාවට යළි පැමිණ‍ි ඇය 1995දී කැලණි විශ්ව විදයාලයේ අංශ ප්‍රධානි තනතුරක්ද ලබමින් ලංකාවේ මුල්ම මහාචාර්යවරිය ලෙස පත්වීමක් ලැබුවාය. කාන්තාවකට මහාචාර්ය තනතුරක් ලැබීමට හැකියාවක් නැති බවට සරසවි ක්ෂෙත්‍රෙය් ගොඩනැගුණ ආකල්ප තමා කඩා බිඳ දැමූ බව එවක ඇය ප්‍රකාශ කළාය. ඇය සමග සරසවියේ ස්ථිර පත්වීම් ලද අය අතර අමරදේව හා ශාන්ති ගීතදේවද සිටියහ.කැලණිය විශ්වවිද්‍යාලයට ගායන අංශයක් ආරම්භ කළේද ඇයගේ කැපවීමක ප්‍රතිඵල ලෙසයි.

අභාවප්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතය.