කාන්තාවක ලෙස සැරසී මුහුණ ආවරණය කරගෙන හිස් වැසුමක් පැලඳ යතුරුපැදියකින් පැමිණි අයකු තම ගජමිතුරාගේ නිවෙස් ඉදිරිපස දොරෙන් නිවෙසට ඇතුළු වී එහි තිබූ විස්කි බෝතල් අටක් සොරාගැනීමේ සිද්ධියක් සීදුවෙන් වාර්තාවේ.
පසුව ඔහු  සීදූවේ ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිට පත්වාගෙන යන බටහිර ඖෂධ අලෙවිසලකට එම විස්කි බෝතල්
අට ලබාදී මානසික රෝගීන් සඳහා නිකුත් කරන අධි මාත්‍රාවක් ඇති පෙති ලබාගත් බව කියැවේ.එම පුද්ගලයා සීදූව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ මිතුරා විදේශ ගතව සිට පැමිණි අයකු බව කියයි.

සීදූව - කොස්ගහවත්ත ප්‍රදේශයේ නිවසකින් මෙලෙස විස්කි සොරාගෙන තිබුණි.

සොරකම කළ සැකකරු තම මිතුරා විදේශ රටකින් ගෙන එන ලද විස්කි ඔහුගේ නිවෙස් අසුරා ඇති ස්ථානය දැක තෙදිනකට පසුව දහවල් කාලයේ කිසිවකුටත් සැක නොසිතෙන පරිදි ගැහැණියක ලෙස සැරසී මිතුරාගේ නිවසට පැමිණ විස්කි බෝතල් සොරාගෙන තිබේ. සැකකරු එම හොරකම කළ බව නොහැගෙන පරිදි එදිනම සවස මිතුරාගේ නිවසට පැමිණ ඇත. මිතුරාදා විස්කි බෝතල් නැතිවූ බව නොපවසා සුපුරුදු  ලෙස හැසිරී තිබේ.
කෙසේ වෙතත් මෙලෙස සොරාගත් විස්කි බෝතල් සැබෑ ලෙසම විස්කි අඩංගු බෝතල් නොවූ බවද පැවසේ.
හිස් විස්කි  බෝතල් කීපයක් ගෙන එය වර්ණ ගැන්වූ වතුර පුරවා නිවෙසට ඇතුළුවන්නන්ට පෙනෙන පරිදි කබඩ් එක විවෘතව තබා එම ස්ථානයට සී.සී.ටී.වී. කැමරාවක් ඉලක්ක කර තිබී ඇත. විස්කි බෝතල් අට සොරාගත්  කාන්තාවක ලෙස සැරසී යතුරුපැදියෙන් පැමිණ නිවසට ඇතුළු වී එම ව්‍යාජ විස්කි බෝතල් ද සොරාගෙන පලාගොස් ඇත.
 සී.සී.ටී.වී. කැමරාවේ ඇති දත්ත පරීක්ෂා කර මුහුණ ආවරණය කළ කාන්තාවකගේ ගමන් විලාසය ඉතා හොදින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තම මිතුරාගේ ගමන් විලාශයට සමාන බැවින් මිතුරා ඒ ගැන සීදුව පොලීසියට පැමිණිලි කර ඇත.

සීදුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ ඒ සොරාගත් එම විස්කි බෝතල් ඉහත කී සීදූව බටහිර ඖෂධ අලෙවිසල වෙත ලබාදී රුපියල් පහළොස් දහසක් පමණ වටිනා මානසික රෝගීන්ට ලබාදෙන අධි මාත්‍රා පෙති ලබාගත් බව අනාවරණය කර තිබේ. ඖෂධ අලෙවිසල් සේවකයා මින් ඉහතදී මත්පති ලෝලීන් සොරකම් කරන ලද ස්මාර්ට් ෆෝන් රැගෙන මෙම මත් පෙති  ලබාදීමේ වරදකට හසුවූවකු බවද සීදූව පොලිසියෙන් අනාවරණය වෙයි.

-සීදුවේ නිශ්ශංක-