https://www.gossiplankanews.com/2018/09/chathura-senaratne-speaks.html#more
සුගියදා අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් ලෙස පැවති ඇමති රාජිත පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර
සේනාරත්නගේ විවාහ මංගල්‍යය ගැන බොහෝ කථාබස් ඇති විය. සිය විවාහ උත්සවයෙන් පසුව ඒ ගැන පළවූ දහසකුත් එකක් විවේචන සම්බන්ධයෙන්
චතුර මෑතකදී පිළිතුරු සපයා තිබේ.
පහත පළවන්නේ එම සාකච්ඡාවයි.

ඩී.එස්. සේනානායකගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා සිටි අගමැතිවරුන් බොහෝ දෙනෙකුට විවාහ වන වයසේ දරුවන් සිටියත් අරලියගහ මන්දිරයේ විවාහයක් ගන්න බැරි වුණා. ඒත් චතුර සේනාරත්න අරලියගහ මන්දිරයේ තමන්ගේ විවාහ උත්සවය අරගත්තා. රටේ සිටි අගමැතිවරුන්ට කළ නොහැකිවූ දේ චතුර සේනාරත්න කිරීම ගැන මොකද හිතෙන්නේ?
මට උපත හා විපත තීන්දු කරන්න බෑ. ඒත් විවාහය මට තීන්දු කරන්න පුළුවන්. ඒ විශේෂිත දිනයේදී මට ඒ ජනතාව සමග මගේ සතුට බෙදාගැනීමටයි අවශ්‍ය වෙලා තිබුණේ. ඔවුන්ගේ ආශිර්වාදය ලබාගැනීමටයි මට අවශ්‍ය වෙලා තිබුණේ. ඒ ගැන මට හදවතින්ම සතුටයි. ඒ හැකියාව හා වාසනාව අනික් අයට ලැබුණාද කියන එක මට අදාළ කරුණක් ‍නෙවෙයි.  සාමාන්‍යයෙන් දේශපාලන ලෝකයේ දරුවන් සුපිරි ධනවතුන්, නළඟනන් සමග ගෙවන ජීවිතයෙන් එළියට ඇවිත් මම විවාහය ගත්තා.

ඒ කියන්නේ ඥාතීන් විවාහයට සම්බන්ධවුණේ නැද්ද?
මගේ පැත්තෙන් ඥාතීන් විසි දෙදෙනයි සම්බන්ධ වුණේ. මගේ බිරිඳගේ පැත්තෙන් ඥාතීන් හත් අට දෙනෙක් තමයි පැමිණියේ. ඒ හැරුණු විට මැති ඇමැතිවරු තමයි ආවේ. ඒ පිරිස දෙසීයක් විතර ඇති. අනෙක් සියලු දෙනාම ‍පොදු ජනතාව. ඒ අය අතර පදික වෙළෙඳුන්, නාට්ටාමිවරු ඇවිත් හිටියා. ඒ හැම දෙනාටම රජ ගෙදර විවෘත කිරීමට ලැබිම ගැන මට තිබෙන්නේ සතුටක්.

සාමාන්‍යයේ බිරිඳක් කැමති තරු පංතියේ හෝටලයක තමන්ගේ ඥාතීන් එක්ක විවාහ උත්සවයක් ගැනීමටයි. මේ වගේ සාමාන්‍ය ජනතාව සමග විවාහ උත්සවය ගන්නවාට බිරිඳගෙන් බාධාවක් තිබුණේ නැද්ද?

දැනට අවුරුදු එකොළහකට කලින් විවාහ උත්සවය ගත්තා නම් බිරිඳගෙන් ඒකට බාධාවක් එන්න තිබුණා. බිරිඳ ඇතැම් විට මේ ගැන විශ්මයෙන් හිතන්න තිබුණා. ඒත් ඇය තමන්ගේ මව ඇතුළු අයගෙන් ඈත් වෙලා මා වෙනුවෙන් කැප වෙන්න තීරණය කළා. මේ කාලයේ සියලු සමාජ ව්‍යාපාර සමග ඇය සිටියා. මේ සමාජ ව්‍යාපාරවල සිටින අය මටත් වඩා ඇතැම් විට ඇයට ආදරය කරනවා. ඒ නිසා අපිත් එක්ක සටන් කරපු සටන් සගයින් එක්ක විවාහය සැමරුවා

මේක තරු පංතියේ හෝටලයක පැවැත්වීමට කොහොමවත් හිතුනෙම නැද්ද?
මේක තරු පංතියේ හෝටලයක ගන්න තමයි හිතා හිටියේ. ඒත්් කෙටි කාලයකින් මේක තීරණය වුණ අතරේ තරු පංති හෝටල් තිබුණේ නෑ. අනෙක් අතට අපි ආරාධනා කරන පිරිස එක්ක ඒ තරමට ප්‍රමාණවත් වන හෝටලක් සොයා ගැනීමේ ගැටලුවක් තිබුණා. ඒ සියලු දෙනාම එකට ඒකරාශි කරගැනීමේ ගැටලුවක් තිබුණා. ශ්‍රැංග්‍රිලා හෝටලයේ සියලු ශාලා එකට එකතු කරන්න අපි උත්සාහ ගත්තා. මම අගමැතිතුමාට කතා කළේත් මේ ශාලා දෙක එකවර ලබාගැනීමටයි. ඒ කතාබහ එක්ක තමයි අරලියහ මන්දිරයේ ශාලාව වෙන් කරගැනීමට ප්‍රස්තුතය ගොඩනැගුනේ. ඊට පස්සේ අගමැති ‍ලේකම්තුමාට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියලා උපදෙස් දීලා තිබුණා. ඒ අනුව සියලුම ගෙවීම්වලට යටත්ව ශාලාව දෙන්න කියලා මම ඉල්ලුවා. මම මේ ලියුම යවනවිට මම මගේ මන්ත්‍රී ලිපි ශීර්ෂය හෝ සිවිල් ව්‍යාපාරයේ ලිපි ශීර්ෂය භාවිතා කළේ නෑ. මගේ පුද්ගලික ලිපි ශීර්ෂය තමයි ඒ සඳහා යොදාගත්තේ. ඒ සියලු කටයුතු බලලා තමයි මට ශාලාව ලබාදුන්නේ. මට හිල්ටන් හෝටලයේ විවාහය සැමරීමට තිබෙන අවස්ථාවට වඩා දේශපාලන ව්‍යාපාරය සමග එක්වූ අය සමග විවාහය සැමරීම සතුටට කරුණක්. මම කිසිම අවස්ථාවක එතැන තිබූ ගෞරවයට හානියක් කළේ නෑ. මම සම්පූර්ණ උත්සවයම මතින් තොරව තමයි අරගත්තෙ.

අරලියගහ මන්දිරය ලැබුණේ චතුරට නැතිනම් ඇමැති රාජිත සේනාරත්නගේ පුතාටද?
මේක ලැබුණේ චතුර සේනාරත්න කියන සිවිල් සමාජ ක්‍රියාධරයාට. මේ ශාලාව ලැබෙනවා කියලා මගේ පියා දැනගෙන හිටියේ නෑ. මහජන නියෝජිතයෙක් වීමත් බලපාන්න ඇති. මගේ විවාහ උත්සවයට සෙරෙප්පු දාගෙන ආපු, අනන්ත දුක් විඳලා වයසට වඩා මහලු පෙනුමක් තියෙන අයත් ඇවිත් හිටියා. ඒ වගේ අය රජ ගෙදර ගෙනැත් විවාහය සමරපු එක ගැනත් සතුටුයි.

දේශපාලනයට උදව් කළ අය අතරින් හිත් අමනාපකම් ඇති නොකරගෙන ආරාධනා කළ යුතු අය තෝරාගත්තේ කොහොමද?
මම ගම්පහ දිස්ත්‍රික්කයේ හැම ගමකම සිටින නියෝජිතයින් තෝරා ගත්තා. ලංකාව වටේම තෝරාගත්තේ මහජන නියෝජිතයින්. මම ලබන මාසේ ඉඳලා හැම දිස්ත්‍රික්කයකටම එනවා. එතැනදී ඒ අයත් එක්ක සතුට බෙදාගන්නවා. ලබන මාසයේ අම්පාරෙන් ඒක පටන්ගන්නවා.

පාර්ලිමේන්තුවේ සහෝදර මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමේදී තෝරා බේරාගැනීමක් තිබුණාද?
හොරු ආරක්ෂා කිරීමට ඩීල් දාපු අය හැරෙන්න ආණ්ඩුවේ හැමෝටම ආරාධනා කළා. විපක්ෂ නායක සම්බන්ධන් මහත්තයාට ආරාධනා කළේ දින දෙක තුනකට කලින්. එතුමා ‍පෝරුවේ චාරිත්‍රවලට පවා සම්බන්ධ වුණා. ඒ වගේම දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් පැමිණියා. අනික් පැත්තෙන් ඩග්ලස් දේවානන්දා මහත්තයා ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමේ අය පැමිණියා. ඒත් කලින් ආණ්ඩුවේ හොරු කාටවත් ආරාධනා කළේ නෑ. මේ කාටවත් විවාහ ආරාධනා පත්‍රය දෙන්න මට හැකියාවක් තිබුණේ නෑ. අපේ ඇඳුම් නිර්මාණ ඇතුළු සියලු දේවල් කළේ මගේ මිත්‍රයෝ. සාමාන්‍යයෙන් මුදල් ගෙවලා කරගන්නවාට වඩා යාළුකමට කරගන්නකොට අපිට කරන්න වෙන මැදිහත් වීම වැඩියි. පාර්ලිමේන්තුවේ අවසාන දවසේ මම පාර්ලිමේන්තුවට ආරාධනා පත්‍ර යැව්වේ මගේ බිරිඳගේ පංතියේ හොඳම යෙහෙලියෙක් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතයි. ඒත් අගමැතිතුමාගේ ආරාධනා පත්‍රය වෙන කෙනෙක් අත යැව්වාද කියලා මගේ පියා මට දොස් කිව්වා. ඒත් සියලු අය ආවා.


අහසට උසට උස් වූ කේක් ගෙඩි, අලංකාරවත් ආරාධනා පත්‍ර කාගේත් අවධානයට ලක්වූ කරුණක් වුණා. ඔබට මේ විවාහය සැමැරීමට අවශ්‍ය වුණේ මහාරාජා කෙනෙක් වගේද?
අනේ නෑ. මම ඔය තේමාවල් ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක්. පෞරාණික තේමාවලට මම කැමැතියි. ආරාධනා පත්‍රය හා කේක් පෙට්ටිය මගේ පාසල් මිත්‍රයෙක් දුන්නේ. ඔහුට චීනයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් තිබෙනවා. ඔහු තමයි ඒවා ගහලා එව්වේ. පවුල් පිටින් එන නිසා සාමාන්‍යයෙන් විවාහයකදී ආරාධනා පත්‍ර අඩුවෙන් ගහන්නේ. ඒත් පවුල් පිටින් සුළු පිරිසක් ආවේ. අනික් හැමෝම තනියම ආවේ. ඒ නිසා අපිට ආරාධනා පත්‍ර මදි වුණා. අලුතින් ආරාධනා පත්‍ර ගහන්න බලනකොට ඒ වැඩේ අයින් කරලා වෙනත් වැඩක් පටන් අරගෙන. 

මේකට වියදම් කරන්න මේ තරම් සල්ලි කොහෙන්ද?
මේකට වියදම් කරන්න සල්ලි ඕන වුණේ නෑ. මට ඕන තරම් මිනිස්සු හිටියා. අපි දෙන්නාගේම ඇඳුම් තෑග්ගක් ලෙස නිර්මාණය කරලා තිබුණා. ආරාධනා පත්‍රය, කේක් පෙට්ටිය ඇතුළු දේ තෑග්ගක් ලෙස මගේ මිත්‍රයෙක් එව්වා. මල් සැරසිලි මගේ පියාගේ මිතුරෙක් ලබාදුන්නා. මම මල් සැරසිලි ගැන තැකීමක් නැතිව සිටින විට තෑග්ගක් දෙන්න ඕන කියලා සැරසිලි කරලා දුන්නා. අපේ ස්වයං රැකියා කරන අය තමයි බිරිඳගේ මාල ඇතුළු සැරසිලි කළේ. ඒ අය ඒ වෙනුවෙන්ම ඒවා නිර්මාණය කරලා තිබුණා. මට දෙන්න තිබුණේ ෆ්ලයිවුඩ් ලෑලි, තීන්ත වගේ දේවල් විතරයි. මට වියදමකට ගියේ ශාලාවට හා කෑමවලට ගිය වියදම විතරයි.

මේ අය උදව් කළේ ප්‍රතිලාභ බලාගෙන නෙමෙයිද?
ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කරනවා නම් මම මේකට ව්‍යාපාරිකයින් ගෙන්වනවානේ. අර එක ඇමැති කෙනෙකුගේ පුතෙක්ගේ විවාහය අරගෙන තිබුණේ ඇවන්ගාඩ් එකේ සල්ලිවලින්නේ. මගේ විවාහ උත්සවයට එක ව්‍යාපාරිකයෙක්වත් ආවේ නෑ. මට කළු සල්ලිකාරයෝ හරි සුදු කරපටි හොරු අවශ්‍ය නෑ. දේශපාලනයෙන් යැපෙන්නේ නැති මිනිස්සු අපිත් එක්ක පෙළගැසිලා ඉන්නවා. මම අඩුම තරමේ මගේ පියාගේ යටතේ තිබෙන ආයතනවල සභාපතිවරුන්ට, ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන්ට ආරාධනා කළේ නෑ. මේ තනතුරු හොබවන අයට මම කතා කරලා උදව් ඉල්ලලා නෑ.

ඔබ උත්සවයේදී කළ කතාව කාගේත් අවධානයට ලක්වුණා. ඒ වගේ වෙනස් දෙයක් කරන්න හිතුවේ ඇයි?
මම කතාවක් කරන්න හිටියේ නෑ. කතාවක් කරන්න කියලා නිවේදනය කරන තුරු ඒ ගැන මම දැනගෙන හිටියේ නෑ. විශාල පිරිසක් මාව වටකරගෙන හිටපු නිසා ඒ නිවේදනය මට ඇහුනේ නෑ. මගේ පියා පිළිගැනීමේ කතාවක් කරලා තිබුණා. මගේ බිරිඳ වෙනුවෙන් ඇගේ හොඳම යෙහෙළිය කතාවක් කරලා තිබුණා. මම කතාවක් කරන්නේ මොකදට කියලා අහනකොට හැමෝටම ස්තුති කරන්න කියලා කිව්වා. ඒ අනුව තමයි කතා කළේ. අගමැතිතුමා ඇතුළු හැමෝටම ආරාධනා කළේ දවස් තුන හතරකට කලින්. එහෙම තත්ත්වයක් උඩ ඒ අයට ස්තුති කරන්න ඕන නිසා මම කතාවක් කළා. මම මට උදව් කළ අයට ස්තුති කළා. ඒ වගේම අවුරුදු එකොළහක් විවාහ උත්සවය වෙනුවෙන් බලා සිටීම ගැන මගේ බිරිඳට ස්තුති කළා.

රුවන්වැලි සෑය අසල පැවැති අතිනත ගැනීමේ උත්සවය ගැන කාගේවත් අවධානය ලක්වූයේ නෑ. ඒක සිදුවූයේ කෙසේද?
කුඩා කල සිට ඒ සම්බන්ධයෙන් විශාල බැඳීමක් තිබෙනවා. මගේ පියා, සීයා පුරාවිද්‍යාවට ඇලුම්කළ අය. මම පුරාවිද්‍යාවට ආදරය කළ අයෙක්. මම ලොකු වන විට අපේ වටපිටාවේ සිටින අය සමග එකතුවෙලා අනුරාධපුරයට මාසයකට සැරයක්  දෙකක් යනවා. නිවාඩු කාලයට මම ගිහින් නටබුන් නරඹමින් ඡායාරූප ගන්නවා. මම දෙවැනි වර උසස් පෙළට පෙනී සිටියේ අනුරාධපුරයෙන්. ඒ කාලයේ මම නැවතිලා හිටියේ රුවන්වැලි සෑය අසල නිවසක. පල්‍ලේගම හේමරතන නායක හාමුරුවෝ හැමදාම උදේ රුවන්වැලි සෑය අසලට අරගෙන ගිහින් පිරිත් කියලා තමයි මාව විභාග ශාලාවට අරගෙන ගියේ. ඒ සම්බන්ධතා එක්ක මට රුවන්වැලි සෑය අසල අතිනත ගැනීමට හැකියාව ලැබුණා. ඒ අවස්ථාව මට අරලියගහ මන්දිරයේ විවාහය ගත්තාට වඩා වැඩි අවස්ථාවක්.

දෙවැනි ගමන ගැන වැඩි අවධානයක් ලක්වුණේ නෑ. දෙවැනි ගමන සිදුවුණේ කොහොමද?
ඒක බොහොම සරලව තිබුණේ. ටාජ් හෝටලයේ තමයි දෙවැනි ගමන තිබුණේ. එතැනට එන්න කිව්වේ මේක සංවිධානය කරන්න උදව් කරපු අයටයි. ස්ටේජ් එකේ ඇණ ගහන්න උදව් කරපු කෙනාගේ සිට කේක් එක හදන්න උදව් කරපු අයත් එතැනට ආවා. ඔය අහස උසට යන කේක් එකක් කියලා කිව්වට ඒක නොමි‍ලේ ලැබුණ එකක්. ඒක හදලා දුන්නේ මගේ හිතවතියක්. මේ කේක් එකට ගියපු ගාන ගැන සමහරු ඇගෙන් අහලා තිබුණා. ඇය කියලා තිබුණේ චතුර මගේ පුතෙක් වගේ කෙනෙක් නිසා නොමි‍ලේ හදලා දුන්නා කියලයි. මේකට අනාරාධිතව එක් අමුත්තෙක් ආවා. ඒ තමයි ජනාධිපතිතුමා.එතුමා එන විට එතුමාගේ දුව, පුතා සහ බෑණා ඇවිත් හිටියා. ඒ අයවත් ජනාධිපතිතුමා එන බව දැන සිටියේ නෑ. එතුමා මම ළඟට ඇවිත් ඔන්න ආරාධනාවක් නැතිව මම ආවා කියලා කිව්වා. එතකොට මම කිව්වේ මමත් එදා මුත්තයියා පාක් එකේ රැස්වීමෙන් පස්සේ ආරාධනාවක් නැතිවම ඔබතුමාගේ ගෙදරට ඇවිත් මගේ වාහනයේම දාගෙන ගිහින් අගමැතිතුමාව මුණ ගැස්සුවේ කියලා කිව්වා. අපි දෙන්නා අතර ආරාධනා පත්‍ර අවශ්‍ය වෙන්නේ නෑ කියලා කිව්වා. එතුමා පැය හතරකට වැඩිය හිටියා. ඒ ඉඳලා සියලුම දේවල් දරාගෙන ඉඳලා රෑ දොළහත් පහුවෙලා තමයි ගියේ.

රජගෙදර මඟුල ගත්ත චතුර සේනාරත්න රජ වෙලාම නවතීවිද?
චතුර සේනාරත්නගේ දේශපාලනය අනික් අයගේ දේශපාලනයට වඩා වෙනස්. අනික් අය රජ වෙන්න ගිහින් තමයි තමන්ගේ තාත්තලාව අමාරුවේ දැම්මේ. මගේ තාත්තට වාමාංශික දේශපාලනය ගැන ලියැවුණ විශාල ‍පොත් එකතුවක් තියෙනවා. ඒ වගේ පුස්තකාලයක් තියෙන්නේ සිරිතුංග ජයසූරිය සහෝදරයාට, වික්‍රමබාහු සහෝදරයට විතරයි. මේ සියල්ල හදාරමින් තමයි මමත් ගොඩනැගුනේ. වම හදාරලා, වමේ චේ, ලෙනින් ඇතුළු සියලු දෙනාගේම කැපකිරීම් දැකපු අයට නම් දේශපාලනය කියන්නේ කැපකිරීමක්. හරියට ආදරය වගේ. මම ආදරයෙත් ඒ කැපකිරීම කළා. අපේ ආදර කතාවත්, දේශපාලනයත් කැපකිරීමක්. මේ ප්‍රශ්නය මාධ්‍යයෙන් අවුරුදු ගාණක් තිස්සේ අහනවා. මගේ සටන තියෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන්. මේ සිස්ටම් එක චේන්ජ් වෙන දවසට මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.

සාකච්ඡා කළේ - සංජය නල්ලපෙරුම Chathura - Sarupa Home Coming Photo Shoot
https://gallery.gossiplankanews.com/wedding/chathura-sarupa-home-coming-photo-shoot.html
Pix By -Danushka Senadeera