රාතේ ශූර වසත්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධානම සැකකරු වන එස්.එෆ් ලොක්කා වාරියපොළ බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන භාවිත කරමින් රහසිගතව මෙහෙයවූ මහා පරිමාණ බ්‍රවුන් ෂුගර්
හෙරොයින් ජාවාරමක් හෙළි කරගෙන ඊට සම්බන්ධ ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන රූමි ඇතුළු සැකකරුවන් පස්දෙනකු බ්‍රවුන් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් 124යි මිලීග්‍රෑම් 600ක ප්‍රමාණයක් හා කේරළ ගංජා පාර්සලයක් සමඟ උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක, පළාත් වැටලීම් ඒකකය 9දා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රතාප් සඳුන්ගහවත්ත මහතා යටතේ ක්‍රියාත්මක පළාත් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ප්‍රභාත් ගාල්ලගේ මහතා ඇතුළු කණ්ඩායම් දින කිහිපයක් තිස්සේ දිවා රෑ නොබලා

සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 125ක ප්‍රමාණයට අමතරව කේරළ ගංජා ග්‍රෑම් 131ක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් බ්‍රවුන් ෂුගර් පැකට්ටුව, කිසිදු ද්‍රව්‍යයක් කලවම් නොකරන මත්ද්‍රව්‍ය පැකට්ටුවක් බවට සැක කරන බවත් එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 14 ඉක්මවන බවත් පොලිසිය පවසයි.

යම් හෙයකින් මත්ද්‍රව්‍ය තොගය අලෙවි කිරීමට හැකිවුයේ නම්, එය රුපියල් ලක්‍ෂ පනහකට පමණ අලෙවි කර ගැනීමට සැකකරුවන්ට හැකියාව තිබුණු බව පොලිසිය පැවසුවේය. ප්‍රධාන සැකකරු වන සාලියපුර ගල්වළ හන්දිය ප්‍රදේශයේ පදිංචි රූමි නැමැත්තා පසුපස පොලිස් කණ්ඩායමක් ලුහුබඳින බව ඉවවැටී බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් 106ක පැකට්ටුවක් හා කේරළ ගංජා ග්‍රෑම් 131 අඩංගු පාර්සලය සඟවාගෙන එස්.එෆ් ලොක්කා විසින් ජාවාරම සිදුකිරීම සඳහා ලබාදී ඇති නවීන පන්නයේ අධිවේගී යතුරුපැදියේ නැගී පලායද්දී ඔහු පසුපස ලුහුබැඳ ඔහුගේ ගමන වළ කා ශ්‍රාවස්තිපුර, ගල්වැඩපළ ආසන්නයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර රූමි නමැත්තා පොලිස් නිලධාරීන් සමඟ පොර බදා පලා යෑමට දැඩි වෙහෙසක් දරා ඇතත් නිලධාරීන් ඔහු මෙල්ලකර අත්අඩංගුවට ගෙන තිබිණි. රූමි අත්අඩංගුවට පත්වූ බව දැනගත් එස්.එෆ්. ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු වන අනුරාධපුර කාර්මික පෙදෙසේ (මස් මඩුව) පදිංචි සැකකරු හෙරොයින් ග්‍රෑම් 10ක් සඟවාගෙන උතුරු

දුම්රිය මාර්ගය හරහා පලා යමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඊට අමතරව තවත් සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් හයක් සඟවාගෙන පලා යමින් සිථියදී ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

තවත් සැකකරුවන් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 600ක් ශ්‍රාවස්තිපුර යකඩ පාලම අසල පිහිටි පුල්ලෙයාර් පිළිමය ආසන්නයේ සැඟවීමට යද්දී පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණු අතර ඔවුන් පැමිණි යතුරුපැදියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. සිය ගෝලයන් පිරිස අත්අඩංගුවට පත්ව ඇති බව නොදත් වාරිපොළ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් හෙරොයින් ජාවාරම මෙහෙයවන එස්.එෆ්. ලොක්කා පෙරේදා (8දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගය නරඹමින් ඔවුන්ට පරුෂ වචන කියමින් කෑකෝ ගසන අතරවාරේ "යකෝ අතන ග්‍රෑම් පනහක් හංගපන්, අතනින් තව ග්‍රෑම් 10ක් හංගපන් මම කියන විදියට කරපල්ලා යකෝ" යනුවෙන් විධානයක් ලබාදෙමින් ජාවාරම මෙහෙයවන අයුරු ඇමතුම්වලට සවන් දෙමින් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

පොලිසියට සිය ගෝලයන් අසුවී ඇති බව දැනගත් වහාම ඇමතුම විසන්ධි වූ බව පොලිසියෙන් අනාවරණය විය. අනුරාධපුර බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවීම නිසා සැකකරු වාරියපොළ බන්ධනාගාරයට මාරුකර යවා ඇතත් ඔහු සුපුරුදු පරිදි එහි සිට හෙරොයින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. සැකකාර එස්.එෆ්. ලොක්කා කරාතේ ශූර වසන්ත සොයිසාව කපා කොටා ඝාතනය කිරිමේ හා ඔහුගේ සමාජ ශාලාවට අලාභහානි සිදුකිරීමේ සිද්ධියට අනුරාධපුජ මහධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටියදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වී මාස 16ක් තිස්සේ අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.

-මහේෂ් විජේසුරිය-