අනතුරකින් මියගිය පුද්ගලයකුගේ ඇඳුමක සාක්කුවට තමාගේ ජාතික හැඳුනුම්පත හා තම නිවෙසේ ලිපිනයද දුරකථන අංකයද දමා එම ස්ථානයෙන් නික්ම ගොස් අපරාධ වලින් බේරීමට උත්සාහ දැරූ අයෙකු පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා.
රාගම පේරලන්ද ප්‍රදේශයේදී හොරකමක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලීසියට ඉදිරිපත් කළ පාපෝව්චාරණය තුළින් මෙම අනාවරණය සිදුවිය.
මේ වනවිට ඔහු වරෙන්තු 9ක් සහිත අපරාධකරුවකු යැයි පොලිසිය හඳුනා ගෙන ඇත.
 මෙම පුද්ගලයා 2013 වසරේ

මීගමු බන්ධනාගාරයෙන් පලාගොස් පන්සලක සැඟවී සිට පසුව එම විහාරස්ථානයේදීම සිවුරු දරා පැවිද්දකු ලෙස ජීවත්වී ඇත. සිවුරු දරා සිටියදී කරන ලද අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ඔහු පසුපස ලුහුබදින විට සිවුරු හැර පලාගොස් නැවත ගිහි වෙස් ගෙන ජීවත් වී තිබේ.
තමාගේ අනන්‍යතාව සැඟවීමෙන් බේරීමක් ලබාගන්නට සිතූ ඔහු අනතුරකින් මියගිය පුද්ගලයකුගේ ඇඳුමක සාක්කුවට තමාගේ ජාතික හැඳුනුම්පත හා තම නිවෙසේ ලිපිනයද දුරකථන අංකයද දමා එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත. රිය අනතුරින් මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය කරද්දී ඔහුගේ සාක්කුවේ තිබූ ලීපිනයට ඥාතීන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් පැමිණ දේහය භාරගෙන අවසන් කටයුතු කර ඇත. මෙලෙස පොලිස් ඇසට වැලී ගසමින් තැන් තැන්වල සැඟවී දිවි ගෙවූ මෙම සැකකරු 34 හැවිරිදි ස්ත්‍රී ලෝලී අයකු බව පොලිසිය කීය. විවෘත වරෙන්තු 9ක් සහිත මෙම  පුද්ගලයා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තම ජීවිතයේ  සැගවුණු සියලු තොරතුරු පොලිසිය ඉදිරීයේ පාපෝච්චාරණය කර ඇත.

-කුසුම් එස්.හැන්නදි-