ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක් පවත්වා ගෙන යමින් මුදල් වංචාවේ නිරත වූ බව කියන මහාචාර්යවරයකු රුපියල් 125,000ක ඇප මත මුදාහරින ලෙස මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරින ලද්දේ මාරවිල - කටුනේරිය, ගල්මල්පඳුර පාර පදිංචිව සිටි ජයන්ත කළුබෝවිල නම් අයෙකි.
සැකකරු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින්
සංවිධානයක් පවත්වා ගෙන යමින් එහි සාමාජිකත්වය ලබා දීමට සහ විවිධ ව්‍යාපෘති වෙනුවෙන් යැයි පවසා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකුගෙන් සැකකරු මුදල් ලබාගෙන ඇත. නමුත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අදාළ පුද්ගලයන් දෙදෙනා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.

පොලිස්පතිවරයාගේ නියෝගය මත මේ සම්බන්ධයෙන් පොළොන්නරුව විශේෂ

අපරාධ විමර්ශන අංශය විසින් කළ විමර්ශනයකදී මෙය ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ ලියාපදිංචි එකක් නොවන බව අනාවරණය වී ඇත. ඒ අනුව මාසයක පමණ කාලයක් පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මාරවිල ප්‍රදේශයට පැමිණ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ඇත. පසුව පසුගිය 16 වැනිදා සැකකරුගේ නිවෙසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය කාලය තුළ සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් 28,000,000ක මුදලක් ලැබී ඇති බවත් එම මුදල සැකකරු විසින් බැංකු කාඩ්පතක් උපයෝගි කරගෙන ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරු විසින් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය වෙතවිවිධ පුද්ගලයන් විසින් එවා ඇති මුදල් ඔහු විසින් තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවට විශ්වාස කරන්නේ යැයි විමර්ශන නිලධාරීහු පවසති.

සැකකරුවන් විසින් මෙරට ප්‍රභූන්ට මහාචාර්ය, ආචාර්ය ආදී ගෞරව

උපාධි පිරිනමා ඇති බවත් ඔහුද තමාටම මහාචාර්ය ගෞරව නාමයක් එක් කර ගෙන ඇති බවද විමර්ශන කටයුතු කරන නිලධාරීන් කියයි. එවැනි ගෞරව උපාධි ලබා දීමට සැකකරුට හැකියාවක් නොමැති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

සැකකරු විසින් මීට පෙර සාමදාන විනිසුරුවරුන්ගේ මානව හිමිකම් සංවිධානය නමින්ද සංවිධානයක් පවත්වා ගෙන ගොස් ඇත. එම සංවිධානය විසින්ද විවිධ අකටයුතුකම් සිදු කිරීම හේතුවෙන් රජය විසින් එම සංවිධානයේ ලියාපදිංචියද අත්හිටුවා ඇත. සැකකරු වෙත පිරිනමා තිබූ සාමවිනිසුරු පදවියද රජය විසින් අත්හිටුවා ඇත.
සැකකරුට ලබන 29 වැනිදා හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මාරවිල අතිරේක දිසා විනිසුරුවරයා නියම කර ඇත.

පොළොන්වරුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මනෝජ් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත