ආණ්ඩුවේ වැඩි බලයක් හිමි වී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද? අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද? කියා මේ මස 24 වැනිදා සිකුරාදා පාර්ලිමේන්තුවේදී දැකගත හැකි වන බවත් ඒ දෙස උපේක්ෂා සහගතව බලා සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

මේ මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා ආණ්ඩුවේම අමාත්‍යවරයකු ගෙන එනු ලබන යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුවේම පක්ෂ කිහිපයක් මේ වනවිට සූදානමින් සිටී. ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය උග්‍ර වී තිබීම හොඳින්ම පෙන්නුම් කෙරෙන බව

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා  ප්‍රකාශ කළේය.

මෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ සීමා නිර්ණය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවයි. එය පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවේ විවාදය සඳහා යෝජනා කිරීමට නියමිතය.

මෙම කොමිෂන් සභා වාර්තාව එදින පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත් පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමයට පැවැත්වෙනු ඇත.
නමුත් සීමා නිර්ණයේ ගැටලු රැසක් තිබෙන බව සඳහන් කරමින් අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍ය මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක්ම මීට දැඩි විරෝධය එල්ල කර ඇත.

මෙම සීමා නිර්ණය ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල්නොදමා පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට මෙම දේශපාලන පක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන්ද පසුගියදා ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ සීමා නිර්ණය පිළිබඳ ගැටලු සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි යන කරුණු සැලකිල්ලට ගෙන මෙම සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාවට සහාය ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ නව මැතිවරණ ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි.

ඒ අනුව මෙම සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවද දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේය.


සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාවේ යම් ගැටලු පවතිනවා නම් එම ගැටලු විස¼දාගෙන ඉදිරියට යෑමට හැකි බවත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනාම දැඩි අවධානයකින් 24 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය දෙස බලා සිටින බවත් පළාත් සභා මැතිවරණය කල්දැමිය හැකි විවිධ උපක්‍රම එහිදී සිදුවීමට ඉඩ තිබෙන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරමින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය හැකි තත්ත්වයක් ඇති කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ නව ක්‍රමයට හෝ පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවයි.

නව මැතිවරණ ක්‍රමයට ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද මහතා සහ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද විරෝධය පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාගෙන් කරන ලද විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් 24 වැනිදා තම පක්ෂයේ මතය ප්‍රකාශ කරන බවයි.

නව මැතිවරණ ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුවත් එම ක්‍රමය දඩමීමා කරගනිමින් පළාත් සභා මැතිවරණය කල්දැමීමට උත්සාහ ගන්නවා නම් එයට තම පක්ෂය විරුද්ධ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු