"පසුගිය වසර තුන අපට ලේසි පහසු වුණේ නෑ. අපි එදා 2015දී දේශපාලන සම්ප්‍රදායක් කඩකර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩකටයුතු කළා. එතුමා ජනාධිපති වුණාට පසු යළිත් සියලු දේශපාලන සම්ප්‍රදායන් කඩකර ජාතික ආණ්ඩුවක්
හදා රට වෙනුවෙන් කටයුතු කළා. ගෙවුණු වසර තුන ජනතාවට හුස්ම ගන්න පුළුවන් වූ වසර තුනක් බවට පත් වුණා" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැති ඉඩම් ඔප්පු බෙදාදීමේ රත්නපුර දිස්ත්‍රික් ජාතික වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. අපි කරපු හැම දේම එකසැරේට ඇඟට නොදැනුණත් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළා. මුලින්ම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග්‍රවිනිශ්චයකාරවරිය ලෙස පත් කළා. එසේ කළේ එතුමිය ඉවත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව සිදුනොවීම නිසායි. ඉන් අනතුරුව අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිගේ කාල සීමාව සීමා කළා. පාර්ලිමේන්තුවේ බලතල වැඩි කළා. අපි රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් ආරම්භ කළා. ජනාධිපතිට හා අගමැතිට තිබුණු බලතල සීමා කළා. උසාවිවලටත් පාර්ලිමේන්තුවටත් අවශ්‍ය බලය ලබා දුන්නා. අපිව උසාවියට වුණත් ගෙනයන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයා මාස තුනකට සැරයක් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසත්, මන්ත්‍රිවරුන්ට සෑම මසකම පළමුවැනි සතියේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න 3ක් ඇසීමට අවස්ථාවකුත් සලසා දුන්නා.

මේ අනුව අලුත් වගකීම් ඇති කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉදිරියට යෑමට අවස්ථාව ඇති කළා. දැන් අවශ්‍ය ඕනෑම අයකුට, අවශ්‍ය තොරතුරක් තොරතුරු දැනගැනීමේ පනත අනුව ලබාගත හැකියි. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත ඇති කළා. විගණන පනත ඇති කළා. මේ අනුව සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා.

පෞද්ගලික මාධ්‍ය මට බනිනවා. කුණුහරුප කියනවා. මට බනින් නැති පෞද්ගලික මාධ්‍යයක් හොයා ගැනීම හරියට කිසා ගෝතමිය අබ ඇටයක් හෙව්වා වගේයි. මේවා දිහා බලන විට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා කියලා පිළිගන්න අකැමැති වුණත් පිළිගන්න වෙනවා. ඇත්ත ඒකයි.

අපි මේ රට භාර ගන්නකොට මේ රට විශාල ණය කන්දකට වැටිලයි තිබුණේ. ණය වළක් කපලායි තිබුණේ. අපි ඒ ණය වළෙන් ගොඩ එන්න බැලුවා. කොහොම හරි ඒ ණය වළ ටිකෙන් ටික පිරෙව්වා.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල,
සමහර අය අවුරුදු 20ක් තිස්සේ නොකරපු දේ අවුරුදු 3න් අපෙන් බලාපොරොත්තු වෙනවා. මම අභියෝග කරනවා 94 ඉඳලා 2014 දක්වා නොකළ වැඩ කොටසක් මේ අවුරුදු තුන තුළ අපි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කරලා තියෙනවා කියලා.

රජයේ නිලධාරීන්ට වැඩ කරන කොට තිබුණු මර බිය, සුදු වෑන් සංස්කෘතිය, දෙකට තුනට නැවිලා යටත් වෙලා ගෙවූ ජීවිතය අපි අවසන් කළා.

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක