වාහනයක් නඩත්තු කරන සෑම පුද්ගලයකු සහ නිවාඩුවක් සඳහා විදේශ ගත වන පුද්ගලයන් සාමාන්‍යයෙන් බදු ගෙවිය යුතු, ආදායමක් තිබිය යුතු පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දුනි.
ඔහු එම කතාව කර තිබුනේ
ඉකුත් 5 වැනිදා ගාල්ල දළවැල්ලේ පැවැති වැඩමුළුවකදීය.
කොමසාරිස්වරයාගේ කතාවේ තවත් බරපතල කොටසක් තිබුණි.
එනම් අපි ටැක්ස් ෆයිල් අරින්න කලින් ඔබම ඉදිරිපත්වන්න ලෙසයි. මේ ඔහු කළ සම්පූර්ණ කතාවයි.


‘රුපියල් ලක්ෂ 05ක් කියන්නේ මාසයකට රුපියල් 50,000ට අඩුයි. මේක තුළ වාහනයකට පෙට්රල් ගහලා, ලයිෂන් කරලා, නඩත්තු කරලා, ඉන්ෂුවරන්ස් කරන්න බෑ. ඒ නිසා වාහනයක් නඩත්තු කරන හැම කෙනෙක්ම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙක්.

ඒ වගේම සමහරු හැම නිවාඩුවකටම විදේශ ගත වෙනවා. අපි ඒ අය දකින්නේ බදු ගෙවිය යුතු අය ලෙස. මේ සියලු අයට අපි ආරාධනා කරනවා තමන්ට ඇවිත් බදු ගොනුවක් විවෘත කර බදු ගෙවන්න ආරම්භ කරන ලෙස. එහෙම නොවුණත් තව ටික දවසකින් ඉබේම අපට සම්බන්ධ වෙන්න වේවි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විට ආයතන 32ක් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.
එම ලේඛන හරහා බදු ගෙවිය යුතු අයගෙ නම් ගම් විස්තර අපට පහසුවෙන් හදුනගන්න පුළුවන්.
ඒ ආයතනවලින් ලබාගත් තොරතුරු අනුව අපි බදු ගොනුවක් විවෘත කළොත් තමන්ගේ මෙතෙක් වත්කම් සොයාගත් ආකාරයත් අපිට සොයන්න වෙනවා.
 ඒ නිසා අපි ඇවිල්ලා බදු ගොනුවක් විවෘත කරන්න කලින් ඔබ ඇවිත් බදු ගොනුවක් විවෘත කර එය පවත්වා ගෙන යන ලෙස ඉල්ලා සිටිනවා. අපිට දළ වශයෙන් ලක්ෂ 16ක බදු ලිපි ගොනු සංඛ්‍යාවක් තියෙනවා. අපේ බලාපොරොත්තුව 2020 වන විට තවත් ලක්ෂ 10ක් වැඩිකර ගැනීමයි.‘