පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශයක් කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය තම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසු විනය පරීක්ෂණයකටද ලක්වන්නට නියමිතව තිබෙන අතරේ උතුරේ තැන්තැන්වල පිළිගැනීමේ උත්සව වලටද සහභාගී වූවාය.

නමුත් ඊයේ වනවිට වාර්තාවන්නේ ඇය දේශපාලනයෙන් කලකට සමුගනු ඇති බවයි. තමා පුද්ගලික චාරිකාවක් සඳහා දරුවන්ද සමග එංගලන්තයට යන බව ඇය මාධ්‍ය වෙත දන්වා තිබේ. ඒ අනුව ඇය ලබන සතියේ ගුවන් ගතවනු ඇත.
කෙසේ වෙතත් ඇය උතුරේ ස්ත්‍රී දූෂණ වැඩිවීමට පවතින

රජයේ ක්‍රියාකාරීත්වය හේතුවූ බවට හා ප්‍රභාකරන්ගේ සමය මීට වඩා හොඳ බවට දැරූ මතයේ වෙනසක් සිදු කර නැති අතර ඇය එජාපයෙන් ඉවත්වී ඉදිරියේ උතුරේ ජනතාව වෙනුවෙන් දෙමළ පක්ෂයකින් තරග වදින්නට තීරණය කළ බවද මාධ්‍යයට දන්වා ඇත. එසේම ඇය මාධ්‍ය වෙත ආරාධනා කරමින් කියා සිටින්නේ උතුරට ඇවිත් බලන ලෙසත් එහි කාන්තා හිංසනය තදින් පවතින බවත්ය.
මේ අතර ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා දන්වා සිටියේ
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ බලය. කතානායකවරයාට පවතින බවයි.
ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා නොදෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දී ඇති දිවුරුමක් කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ බලය කතානායකවරයාට තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේද දින 90 ක් රැඳවුම් නියෝග මත තැබීමේ හැකියාව පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වහාම පියවරක් ගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.