ඊයේ (19දා) සේවයට නොපැමිණියා නම් සේවය අතහැර ගියා සේ සලකන බවට සිය නිවේදනයෙන් අනතුරුව දැන් තැපැල් වර්ජනය අවසන් බවත් සේවකයන් පැමිණ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ අරඹා ඇති බවත් ඊයේ (19දා) දහවල් පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී තැපැල්පතිවරයා ප්‍රකාශ කරන ලද අතර එය මාධ්‍ය ඔස්සේද
ප්‍රචාරය විය.
වර්ජනය අවසන්වනතුරු පුලපුලා බලාසිටි   චීනයේ සිට පැමිණ මෙරට අධ්‍යපනය ලබන තරුණියක මෙම ආරංචිය දැනගෙන තැපැල්පතිගේ වචන වල විශ්වාසය මත
තම රටෙන් මෙරටට එවා ඇති  ත්‍යාගයක් තැපෑලෙන් නිදහස් කර ගැනීමට මධ්‍යම තැපැල්

හුවමාරුවට ක්ෂණිකව  පැමිණ තිබෙන නමුත් පාළු සොහොනක් බඳු සහමුලින්ම අක්‍රිය මධ්‍යම තැපැල් හුවමාරුවේ  අගුළු දැමු මැදිරී දදැක ඇය කලකිරුණි.
මේ සමග පළවන්නේ එම අවස්ථාවේ ගත් ඡායාරූපයකි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු රවීන්ද්‍ර ජයසුන්දර මහතා මෙසේ කීය.

කිසිදු ආකාරයකට අපි තැපැල් සේවකයන් විදියට සේවයට වාර්තා කරල නැහැ. අනෙක මධ්‍යම තැපැල් හුවමාරුව සහ රට පුරා තැපැල් ස්ථාන පසුගිය එකොළොස් වැනිදා වසා දැමුවට පස්සේ කිසිම කාර්යාලයක් ඇරලා නැහැ. තැපැල්පතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඇමැතිවරයා රජයේ මාධ්‍ය යොදාගෙන ඔය කරන්නේ තැපැල් සේවකයන්ට බලපෑම් කිරීමක්. ඊට අපි බය නැහැ. අපි මේ තැපැල් වර්ජනය අඛණ්ඩව කරගෙන යනවා ඉල්ලීම් ස්ථීරව ලැබෙන තුරුම. '

නුවන් හෙට්ටිආරච්චි