ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය තුළ පන්දු රකිමින් සිටියදී පන්දුව පළුඳු කළ බවට නායක දිනේෂ් චන්දිමාල්ට ඊයේ චෝදනා එල්ලවූ අතර ඒ නිසා තරගය තහනම් කිරීමටත් කිසිදු මුදලක් නොගෙවීමටත්
තීරණය කර ඇත.
 ඊට පෙර දිනෙක විනිසුරුවන්ට විරෝධය පළකරමින් කණ්ඩායම පිටියට ගෙනඒම ප්‍රතික්ෂේප කිරීමේ  කාරනාව හේතුවෙන් අයිසීසීය  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව තුන්වෙනි තලය (Level 3) යටතට වැටෙන බරපතල චෝදනාවක්ද එල්ල කර ඇත.
ඒ අනුව ඒ ගැන පරීක්ෂණ සත්‍ය වුවොත් තරග 4 ක් 8 ක් දක්වා තහනම් වන ලෙස ඊටත් වඩා දඩුවම් ලබාදීමට කටයුතු කරන බව දන්වා තිබේ.
චන්දිමාල්ට එල්ලවූ පළුදු කිරීමේ චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් පැය 48 ක් තුළ අභියාචනයක් ලබාදීමට ඇති හැකියාව අනුව ඔහු කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.
එම සිදුවීමට අදාළ රූපවාහිනී දර්ශන උපයෝගි කරගනිමින් අයි.සී.සී. තරග තීරක හිටපු ඉන්දීය ක්‍රීඩක ජවගල් ශ්‍රී නාත් සහ තරග විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ සවස පැවැති  පරීක්‍ෂණයට චන්දිමාල් මුහුණ දුන් අතර තමන් ටොෆි හෝ චුයින්ගම් වැනි දේ භාවිත කිරීම තරගයකදී සිදුකරන සාමාන්‍ය දෙයක් බවත් මෙකී අවස්ථාවේදීද එවන් දෙයක් සපමින් ක්‍රිඩාවේ යෙදුණේ වැරැදි ක්‍රියාවක නියැළීමේ චේතනාවකින් නොවන බවත් චන්දිමාල් ප්‍රකාශ කරන ලදි.

කෙසේ වෙතත් මෙකී පරීක්‍ෂණයෙන් අනතුරුව අයි.සී.සී. ය ඊයේ රාත්‍රියේ  සිට කොදෙවු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම ඔහුට තහනම් කෙරිණි.
එයට අමතරව ටෙස්ට් තරගය සඳහා ඔහුට ගෙවන ලද සම්පූර්ණ මුදල දඩ වශයෙන් අයකර ගැනීමටත්, දඬුවම් ලකුණු දෙකක් ලබාදීමටත් තරග තීරක ජවගාල් ශ්‍රීනාත් තීරණය කොට තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියා සිටින්නේ පන්දුව ඔප දැමිය යුතු නියමිත ක්‍රමවේදයට බැහැරින් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගත් බවයි. සාක්කුවේ රඳවාගෙන සිටි ටොපියක් කටේ දමාගැනීමෙන් පසුව ඛේඨය තවරා පන්දුව ඔප දැමීම සම්මත ක්‍රමවේදයට පටහැණි බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.
තරග තීරකවරයාගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අනුමත කරන බව ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පවසා තිබීම නිසා තත්වය මේ වනවිට සංකීර්ණ මට්ටමකට පැමිණ තිබේ.
කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බැවින් බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බව වාර්තාවේ.
මින් පෙර මේ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලේසිට චෝදනා එල්ල වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළ නමුත්, එම ස්වාධීන පරීක්ෂණයේදී ඔහු වරදකරු විය.
පසුගිය මාර්තු මාසයේ  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් රට ඉදිරියේ හඩා වැටෙමින් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් වන්නට සිදුවූයේද මෙවැනි චෝදනාවකටය.

සිද්ධියට අදාල විඩියෝව අනුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් විසින්

ළහිරු කුමාර පන්දු යැවිමට කැදවා යැවිමට සුදානම් කරන පන්දු වාරයකදි කුසල් මෙන්ඩිස්ගෙන් පන්දුව ලබාගෙන ළහිරු කුමාර සිටින පන්දු යවන අන්තය වෙත දිව යන්නේ තම වම් අතින් සාක්කුවෙන් ගත් චුයින්ගමි හෝ ටොෆියක් මුව තුලට දාමා ගනිමින් වන බවත් ළහිරු කුමාර හා එක්වන ඔහු කෙළ වලින් පන්දුව පිරිමදිමින් ඉතාමත් සුළු කාලයක් විනාඩියකින් 10න් එකක් වැනි කාලයකදි පන්දුව ළහිරු කුමාර අතට ලබා දි පන්දු රකින ස්ථානයට දිව යන බවත් පැවසේ..  මෙි විඩියෝව චන්දිමාල් පන්දුව පළුදු කළ බව විනිසුරුවන් පවසන එකම සාක්ෂිය වන අතර එය ප්‍රබල සාක්ෂියක් නොවන බව ක්‍රිකට් ලෝලීන්ගේ මතයයි.
මෙහි ආරම්භක සිද්ධිය මෙය නොවන අතර 2 දිනය අවසන් කරමින් හතරේ සිමාව වෙත පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය  සිල්වා පන්දුව පිරිමදිනු දකින ඉයන් ගුල් ඒ පිළිබදව සැක සිති ඔහුගේ අත් පරික්ෂා කර අවවාද කරන සිද්ධියක් වාර්තාවී තිබේ.
ඒ අනුව පසුදා උදැසන ප්‍රථමයෙන් පන්දුව පළුදු කළ බවට චෝදනා කරමින් විනිසුරුවන් දඩුවම් ලකුණු 5ක් ලබා දෙන අතර එම චෝදනාවට කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව විරුද්ධ විය.
ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණිම පමාකරමින් තරගය වර්ජනය කරයි.
ඒ අතරතුර සාකච්ඡාවෙිදි විනිසුරුවන් නැවතත් පුනුරුපන නරඹා වරදක් කෙසේ හෝ පටැලීමේ අටියෙන් මෙන් චන්දිමාල්ගේ මෙි සිදුවිම දැක වරද චන්දිමාල් දෙසට හරවා ඇත.කෙසේ වෙතත් විනිසුරුවන් පුනරූපණ මගින් සනාථ කර ගත්තාය කියන දේවල් අදාළ මුල් අවස්‌ථාවේ ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට නොපෙන්වීමද චන්දිමාල් ප්‍රමුඛ කණ්ඩායමේ වර්ජනයට හේතු විය. පසුව කළමනාකරු අසංක ගුරුසිංහට එම පුනරූපන තරග තීරක විසින් ලබාදීමට කටයුතු කෙරිණි.

ICC ප්‍රබලයින් වන අලින් ඩාර් සහ ඉයන් ගුල් මෙන්ම ජවගල් ශ්‍රීනාත් තම චෝදනාව ඉවත් කරගෙන පරදින්නට කිසි ලෙසකින් සුදානම් නොවීම මෙම ගැටලුව ඔඩුදුවන්නට හේතුවූ බව කියැවේ.දිනේෂ් චන්දිමාල්ගේ කර මත අනපේක්ෂිත චෝදනාවක් පැටවෙන්නේ ඒ අනුවයි.