විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායම් සමග මහනුවර වත්තේගම, තෙල්දෙණිය මාර්ගයේදී පෙරේදා (09) දහවල් ඇතිවූ වෙඩි හුවමාරුවකින් ප්‍රබල පාතාල සාමාජිකයන් දෙදෙනකු වෙඩි වැදී මියගිය බව පොලිස් මූලස්ථානය කියයි.

ප්‍රබල පාතාල නායකයන් වශයෙන් හැඳින්වෙන මධුෂ් හා අංගොඩ ලොක්කා යන අයගේ ප්‍රධාන ගෝලයන් වන කඩුවෙල පදිංචි ඉරේෂ් රුක්මල්ෂ මධුසංක (30) නොහොන් " බයිලා" නමැත්තා සහ මුල්ලේරියාව උතුර ප්‍රදේශයේ පදිංචි පොල්වත්තලේ උපාලි (46) නොහොන් "ජනා" නමැත්නා සිද්ධියෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සැකකරුවන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ සැරිසරමින් සිටින බවට විශේෂ කාර්යය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත ලැබුණු බුද්ධි නොරතුරු මත නිලධාරින් කණ්ඩායමක් මඩවල තෙල්දෙණිය මාසයේ සිද්ධිය වූ ස්ථානයේ ක්ෂණික මාර්ග බාධක යොදා වාහන සෝදිසි කරමින් සිටියදි පෙරේදා දහවල් 12.15 පමණ මෙම සැකකරුවන් දෙදෙනා නිල් පැහැති මෝටර් රථයකින් පැමිණි බවද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මෙම මෝටර් රථයට මාර්ග බාධකයේ සිටි භට පිරිස් නවතින ලෙසට අණ කළ ද එම අණ නොතකා වාහනයේ සිටි දෙදෙනා විශේෂ කාර්ය බළකායේ භට පිරිස් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර පලායෑමට උත්සාහ කිරීමේදී විශේෂ කාර්ය බළකායේ භට පිරිස් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරුවන් දෙදෙනා බරපතළ තුවා ලැබූ බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරීයෙක් කීය.
සැකකරුවන් දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බවද එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. මොවුන් සතුව තිබූ ගිනිඅවි දෙකක් ද පොලිසිය බාරයට ගෙන ඇත. "බයිලා" නමැත්තා අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයකු බවත් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි යන ඡාවාරම මෙරට සිට මෙහෙය වන්නේ බයිලා නමැත්තා විසින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් කුලසේකර මහතා සඳහන් කළේය.
මෙම බයිලා නමැන්නා මිනීමැරුම්, කොල්ලකෑම. මන්ද්‍රව්‍ය ඡාවාරම්. ගිනිඅවි සන්තකයේ තබා ගැනිම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් නඩු 15කට වැඩි ප්‍රමාණයක් ඇති පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මියගිය අනෙක් පුද්ගලයා වන 'ඡනා' නමැන්නාටද මිනීමැරුම්, මකොල්ලකෑම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නඩු ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවසිය.
මොවුන් දෙදෙනා අපරාධ සම්බන්ධයෙන් කාලයක් බන්ධනාගාර ගතව සිට මිට මාස 02 කට පෙර ඇප මත පැමිණ සිටි බවද උසස් පොලිස් නිලධාරියෙක් කිය. සැකකරුවන් දෙදෙනා ගමන්ගත් මෝර් රථයේ මහනුවර ප්‍රසිද්ධ පිරිමි විදුහලක ලාංඡනය සහිත ස්ටිකරයක්ද අලවා තිබූ බවද පොලිසිය පවසයි.
තෙල්දෙණිය දිසා විනිසුරු චානක කලංසුරිය මහතා පෙරේදා සවස සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණය සිදුකළේය. මූලික පරික්ෂණවලින් පසුව මෙම මළ සිරුරු ඊයේ (10) ඥතීන් වෙත බාරදීමට නියමිතව තිබිණි.