ඔබ මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා. සතුටින් ඇත්තේ?

     ඔව්, සම්මානයක් ලැබෙනවා කියන එක ඉතින් සතුටක්. කවුරු හරි ඒකට අකැමැතියි කිව්වොත් ඒක බොරුවක් වෙනවා.


මොකද හිතෙන්නේ මේ සම්මානය ගැන?

     හොඳට රඟපෑවම සම්මාන ලැබෙනවා. ඒ වගේම හොඳ තරගකාරීත්වයකුත් තිබුණා. ඇත්තටම මේ අවුරුද්දට මට සතුටක් කියලා දෙයක් ඉතිරි වෙලා තියෙනවා.



රංගන ජීවිතය තුළ හොඳම නිළියට හිමි සම්මානය කියන්නෙ ගොඩක් වටින දෙයක්
නේද?

     ඔව්. මොකද එතැනින් එහාට තවත් සම්මානයක් නැහැනේ.



ධර්ම යුද්ධය වෙනුවෙන් හොඳම නිළි සම්මානය ලැබෙයි කියන බලාපොරොත්තුව තියාගෙනද හිටියේ?


    මෙහෙමයි, ලැබෙයිමයි කියලා හිතන් හිටියේ නැහැ. අනෙක් චිත්‍රපට මොන වගේ මට්ටමක තියනවාද කියලා දන්නෙ නැහැනේ. මොකද අපි ඒ ඔක්කොම බලලා නැහැනේ. අනෙක ඒකේ තීරණය තියෙන්නේ ජූරීය අතේ. අවසාන මොහොත වෙනකම් අපි ඒ තීරණය දන්නේ නැහැ.



ධර්ම යුද්ධයේ රාණි කියන චරිතය ඔබට අභියෝගයක් වුණාද?

    අභියෝගයක් වෙන්නෙ ඒ චරිතය නුපුරුදු එකක් වුණා නම්. අම්මා කියන චරිතය මට  නුපුරුදු එකක් නෙවෙයි. ඒ නිසා මවකගේ හැගීම් කොතනත් එකයි.



ඒ කියන්නෙ පුරුදු චරිතයක් නිසා අභියෝගයක්  වුණේ නෑ කියන එකද?

    පුරුදු නැති වුණත් රංගන ශිල්පිනියකට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. අපි වැටුපක් ලබන්නේ රඟපාන්නනෙ.



මේ නිර්මාණය භාෂා කිහිපයකින් නිර්මාණය වී තිබෙනවා. ඔබ මේ නිර්මාණයේ වැඩි වටිනාකම දෙන්නේ කාටද?

   

මම දන්නවා මේ චිත්‍රපටය කරපු හැම  භාෂාවකින්ම අතිසාර්ථක වුණා කියලා. විශේෂයෙන්ම මේක කතා තේමාව සහ පිටපත් රචකයා තමයි ප්‍රබලම වෙන්නේ. ඉතින් මම ඒකේ වඩිම වටිනාකම දෙන්නේ පිටපතට.



හොඳම නිළියට හිමි සම්මානය ඔබට ලැබෙන්න බලපෑවේ ඔබේ රංගනය විතරමද? අනෙක් පිරිසකගේ සහයෝගයත් ඔබට බලපෑවද?

    අනිවර්ය‍යෙන්ම. මේක කණ්ඩායම් වැඩක් නිසා තනියම කරන්න අමාරුයි. කෑම බිම, ඉඳුම් හිටුම් දුන්න කෙනාගේ ඉඳන් හැම කෙනාගෙම සහයෝගය මේ සම්මානය ඇතුළේ තියනවා.



ඔබ නිර්මාණයක් තෝරා ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ කුමක් ගැනද?

    පිටපත තමයි මූලිකවම බලන්නේ.



මේ කාලයේදී ඔබේ හැකියාව වෙනස් විදියට පෙන්වන්න පුළුවන් චරිත ලැබෙනවද?

    එහෙම චරිත ලැබෙනකම් තමයි බලන් ඉන්නේ.



මොනවද මේ දවස්වල වැඩකටයුතු?

    මේ දවස්වල "දෙයියන්ගේ රටේ"  නාට්‍යයට දායක වෙනවා. ඊට අමතරව නිර්මාණ කිහිපයක් ගැන කතාබහ කරමින් තිබෙනවා. නමුත් තවම ඒවා ස්ථිර වෙලා නැහැ, රියැලිටි ෂෝවලටත් සම්බන්ධ වෙනවා.