http://www.gossiplankanews.com/2018/04/kanishka-death-engineering-faculty.html

සුගියදා කිතුල්ගල ප්‍රදේශයේ මිතුරන් සමග විනෝද චාරිකාවක ගොස් සිටියදී බෝට්ටුවක් පෙරළි මියගිය කනිෂ්ක ඩිල්ශාන් වීරකෝන් (23) ආර්ථික අපහසුකම් මැද ජීවිතය ගොඩනගාගන්නට වීර්යයෙන් කටයුතු කළ කාගේත් හොඳහිත දිනාගත් තරුණයෙකු බව පැවසේ.
 ඔහු පියා මව සහ නංගී සමග ජීවත්ව ඇත්තේ මීගමුව කටුවැල්ලේගම ප්‍රදේශයේ තවම වැඩ අවසන් නැති කුඩා නිවසකය. සාමාන්‍ය පෙළට ඒ 9 ක් හා උසස් පෙළට ඒ 3 ක් ලබා ඉහළින්ම සමත්ව ඔහු ඉංජිනේරු පීඨයට තේරුණ අයෙකි.
‘තව ටික කලකින් අම්මව රැකියාවට යන කරදරයෙන් මම නිදහස් කර ගන්නවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන නංගිටත්
උගන්වගෙන අපට හොඳට ජීවත්වෙන්න පුළුවන් වේවි‘ යයි ඔහු පවසා තිබූ බව ඔහුගේ මව එස්.ඩී. පුෂ්පමාලි මහත්මිය වාවාගත නොහැකි ශෝකයෙන් ප්‍රකාශ කර තිබේ. ඇය සේවය කරන්නේ වතුපිටිවල රෝහලේ කාර්ය මණ්ඩලයේය. කනිෂ්කගේ පියා රොයිචාර්ලස් වීරකෝන් (55) පොලිස් සේවයේ යෙදී විශ්‍රාම ගිය අයෙකි.

කනිෂ්ක ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙන උසස් පෙළ ගණිත අංශයෙන් ඒ සාමාර්ථ 3ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තුන්වැනි තැනට තේරී මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්වූ අයෙකි. මියයන විට ඉංජිනේරු පිඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූවෙිය.
 පීඨයේ සිසුන් පෙර සූදානම් කර ගත් පරිදි 20දා ජල ක්‍රීඩාවෙහි යෙදීමට 13 දෙනකු ගොස් ඇත.

එක් කණ්ඩායමක් හය දෙනකු ලෙස 'ඩිංගි' බෝට්ටුවක නැඟී ඇත. ඩිල්ශාන් ඇතුළු 7 දෙනකු තවත් 'ඩිංගි' බෝට්ටුවක නැඟ තිබේ. මෙම ජල ක්‍රීඩාව දුෂ්කර මෙන්ම බාධක හමුවේ සිදුවන්නකි. ආරක්‍ෂක පටි හා ආරක්‍ෂිත ඇඳුම් පැලඳගෙන ක්‍රීඩාව අරඹා ඇති නමුත් නොසිතූ ලෙස බෝට්ටුව පෙරැළී ඩිල්ශාන්ට විශාල වශයෙන් වතුර පෙවී අපහසුතා ඇතිවී මියගොස් ඇත. කෙසේ වෙතත් එම වතුර මූලික ප්‍රථමාධාරයේදී සිරුරෙන් ඉවත් කළේ නම් මෙම මරණය වළක්වා ගැනීමට තිබූ බවද සමහරු කියති.
මියගිය අයගේ මිතුරු තිසර කවින්ද්‍ර මරණ පරීක්ෂණයේදී මෙසේ කියා ඇත.

'හදිසි අනතුරක් සිදුවෙන්න යනවා නම් රාෆ්ටින් බෝට්ටුවේ ආරක්‍ෂිත කඹය අල්ලාගෙන බෝට්ටුව ඇතුළට නැමෙන්න කියලා බෝට්ටුව පැදපු අයියා බෝට්ටුවට නඟින්න ඉස්සෙල්ලා අපිට උපදෙස් ලබා දුන්නා. ඉන් පසු අපි බෝට්ටුවට හත්දෙනෙක් නැඟලා ටික දුරක් පහළට එනකොට ගල් දෙකක් මැදින් ගඟ ගලා බසින ස්ථානයක බෝට්ටුවේ දකුණු පැත්ත ගලේ වැදුණා.

ඒ එක්කම බෝට්ටුව සැඩ පහරට හසුවෙලා යට ගියා. ඒ එක්කම චානක හා ඩිල්ෂාන් පහළට ගහගෙන ගියා.

එතකොට බෝට්ටුව පැදවූ අයියා කිව්වා එක්කෙනෙක් බෝට්ටුවේ හිරවෙලා කියලා. පස්සේ මායි කෝසලයි බෝට්ටුවේ හිරවෙලා ඉන්න මියගිය කනිෂ්කව ඇද්දා. නමුත් ආවේ නැහැ. ඒ වෙලාවේ ගඟ සැඩ පහර වැඩි නිසා මාවත් ගඟේ පහළට ගහගෙන ගියා. මම ගලක් අල්ලාගෙන ඒ ගල උඩට නැග්ගා'

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කරවනැල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පී.එච්.එම්.ඩී.කේ. හේරත් මහතා විසින් සිදුකළ අතර දියේ ගිලීමෙන් හුස්ම සිරවීම නිසා සිදුවූ මරණයක් බවට තීරණය කළේය.

නිවසේ මුදලින් කිසිවක් යැපෙන්නේ නැතිව මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් ලැබෙන දීමනාව තුළින්ම තම අවශ්‍ය වුවමනාවන් පිරිමසා ගැනීමට උත්සාහ ගත් බව කියන මොහු විශ්වවිද්‍යාලයේ තම පීඨයේ ඉගෙනුම ලබන තම සහෝදර ශිෂ්‍යයන්ට ඉගෙනීමේ කටයුතුවලදී නොදන්නා දේ කියාදී කණ්ඩායමක් ලෙස නායකත්වය දරා ඇතැයි පැවැසෙයි.
මෙදින ජල ක්‍රීඩාවට සහභාගිවීමට අවශ්‍ය මුදල් ඔහු සොයාගෙන ඇත්තේ සිංහල අවුරුද්දේ බුලත්දීමට ඥාතීන් වෙත ගිය පසු ලැබුණු මුදල් එකතු කර ගැනීමෙන් බවද වාර්තා කර ඇත.

දැනට ඔවුන් පදිංචි නිවෙස සම්පූර්ණයෙන් සාදා නැත. එය ගොඩනැඟෙමින් පවතින නිවෙසකි. එය ඩිල්ශාන්ගේ දැනීම මත අඩු වියදමින් ඉදිකරමින් සිට ඇත.

(වාර්තාව - සීතාවක - අරන්දර දිසානායක මීගමුව -නිමන්ති ප්‍රනාන්දු)