හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක පසුගියදා හේවාහැට කිවුල්ලිඳ පිහිටි සිය නිවසේ පැවති හමුවකදී මෙසේ කියා ඇත.

“එක්සත් ජාතික පක්ෂයේ මූලාරම්භයේ සිටින එහි පාක්ෂිකයන් තමයි පක්ෂය රැකගැනීමට නම් විශ්වාසභංගයක් හෝ ගෙනැවිත් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ යුතු යැයි සැලසුම් කර තිබුණේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්  පනස් දෙනෙකු පමණ අවස්ථා ගණනාවකදී කියා සිටියා, රනිල් වික්‍රමසිංහ  පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවට. එම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමුවී මෙම කාරණය කිව්වා. ඒ අනුව ජනාධිපතිවරයා පුද්ගලිකව ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හා අගමැතිවරයා කැඳවා මේ කරුණ ප්‍රකාශ කළා. ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට කිව්වා. නමුත් සිදු වුණේ නැහැ.

විශ්වාසභංග සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කළා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවට.

නමුත් සිදු වුණේ නැහැ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඉතා තාර්කික කරුණුවලින් යුතු ඉතා නිවැරැදි විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. විශ්වාසභංගයේදී අග්‍රමාත්‍යවරයා පරාද කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ද අප සමග සූදානම්ව සිටියා. නමුත් අපේම පක්ෂයේ මහ ලේකම්වරයා තවත් පිරිසක් සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කර ගත්තා.

විශ්වාසභංගයෙන් බේරීම සඳහා විශාල වශයෙන් මුදල් දුන්නා. ඒ මුදල් සොරකම් කරන ලද සහ සම්පත් විකුණා නීති විරෝධී ලෙස රැස් කර ගන්නා ලද මුදල්. එහෙම කරලා තමයි විශ්වාසභංගය අනිත් පැත්තට පෙරලුවේ. ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂවලට විදෙස් රටවලින් බලපෑම් ආවා. විශ්වාසභංගයෙන් අග්‍රමාත්‍යවරයා ඉතා පහසුවෙන් පරාජය කිරීමට හැකියාව තිබියදී එය කඩාකප්පල් කළේ අපේම පක්ෂයේ කිහිපදෙනෙක්. ඒ නිසයි අප ඉල්ලා අස්වීමට තීරණය කළේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා කිව්වාට අග්‍රමාත්‍යවරයා කවදාවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ නැහැ. ඔහු පක්ෂයේ නායකයායි. ඔහුගේ හිතවතා වන අකිල විරාජ් කාරියවසම් මහතා මහ ලේකම් බවට පත් කරනවා. වත්මන් නියෝජ්‍ය නායකත්වය තුට්ටු දෙකට පත්කර නියෝජ්‍ය නායකයන් පස් දෙනෙකු පමණ පක්ෂයට පත් කරනවා. මෙයින් සිදුවෙන්නේ නැවතත් එක්සත් ජාතික පක්ෂය තුළ විරෝධයක් මතුව පක්ෂය තුළ අර්බුද මතුවීමයි.”