පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නිකවැරටියේ රැස්වීමකදී මෙසේ පැවැසීය.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයට අරගෙන තියෙන ගොඩනැඟිල්ලට විතරක් මාසෙකට කෝටි දෙකහමාරක් ගෙවන මේ ආණ්ඩුව සරත් ෆොන්සේකාට දීලා ඇති නිවහනට කෝටි දෙකක් ගෙවනවා. එහෙම ගෙව ගෙවා අපිම හොරකම් කෙරුවා කියලා මේ අය හිරේ දානවා. රට සංවර්ධනය කරන්ට බැරි මේ ආණ්ඩුවට මන්ත්‍රිවරුන්ට වාහන ගේන්ඩ සල්ලි තියෙනවා. රැකියා දස ලක්ෂය දෙනවා කියලා ආපු ආණ්ඩුව අද ගමේ එක
කොල්ලකුට කෙල්ලකුට

අඩු තරමින් රෝහලේ කම්කරු තනතුරක්වත් දීලා තියෙනවාද කියලා අපි අහනවා. මේ රටේ ජනතාවට බොරු කියලා ජනතාවට බදු ගහලා රටේ සියල්ල කොල්ල කනවා. මහ බැංකුව අමු දවාලේ හොරා කාපු මේ ආණ්ඩුවේ නායකයෝ ඇලෝසියස් හිරේට නොදා නඩු අහනවා. අපිව ඇතුළට දාලා නඩු අහනවා. නියම ආණ්ඩුවක් මේක. මේ රටේ ව්‍යාපාරිකයා, ගොවියා, සාමාන්‍ය ජනයා, රාජ්‍ය සේවකයා සියලු දෙනාම අද අනාථයි. ඉදිරියේදී පෙට්රල් ලීටරය රුපියල් තුන්සියයට ඉහළ යනවා. මේ රටේ අවුරුදු පහක් තුළ උපාධිධාරීන් අනූ හතර දාහකට රැකියා දීපු මහින්ද රාජපක්ෂ පරදවලා අද උපාධිධාරීන් රැකියා නැතිව පෝලිමේ. අඩුම තරමින් අපි හදන ගොඩනැඟිල්ලකට වහලේ ගහලා වැඩ ටික ඉවර කරගන්ඩ බැරි රනිල් - මෛත්‍රි ආණ්ඩුවක් මේක. එදා මැතිවරණ වැඩියි කියලා අද මැතිවරණයක් ඉල්ලන්න වෙලා.

අද විසි වැනි සංශෝධනය ගෙනැල්ලා ඡන්දය කල් දාන්න හදනවා. දවසින් දවස ප්‍රශ්න. සංවර්ධනය මුළු රටේම ඇනහිටලා. එහෙම තියෙද්දී වයස අවුරුදු දහ අටට වැඩි අයට බදු ගහන්ඩත් මේ අය දැන් අරඅඳිනවා. මේ නිසා රටේ ජනතාවට යළි මහින්ද රාජපක්ෂ මහතා සමඟ හිටගන්ඩ කාලය උදා වෙලා. මේ කරගෙන යන සියලු අපරාධවලට එකපෙළට හිටගෙන අපේම ආණ්ඩුවක් හැදීමට පොදුජන පෙරමුණට ශක්තිය තියෙනවා. එනිසා ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට තියෙන එකම සරණ අද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයේ අපියි.

මේ රට හරි තැනකට ගෙනහිල්ලා තරුණයාට තරුණියට රැකියා ටික දීලා ගමේ පාර හදලා. ලයිට් ටික යළි දීලා මේ රට යළි ගෙනෙන දවස වැඩි අෑතක නොවන බව අපි මෙහිදී මතක් කරනවා.

නිකවැරටිය _ රසික කුමාර