නිර්මල බුදු දහම රැකගන්න බෞද්ධ සංවිධාන පෙරට ආ යුතුයි. ගිලිහෙන බලය යළි ලබාගන්න බුදු දහමත් පාවිච්චි කළ දේශපාලනඥයො අදත් සීමිත ස්වාමින් වහන්සේ පිරිසක් වැරදි පාරක ගමන් කරවමින් තමන්ගේ වැරදි වහ ගන්න හදනවා. තමන්ගේ වැරදි වහගන්න රුපියල් 100 එකතු කළ හැටිත් අපි දැක්කා. මේ දඩය
ගෙවන්න තරම් සමහරු ළඟ සල්ලි තිබෙනවා. ජනතාවගෙන් මුදල් එකතු කළා කියල ඒවා යොදවන්නත් උප්පරවැට්ටියක් තිබෙනවා යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. හෙතෙම එහීදි මෙසේද කීය.


මහින්ද රාජපක්ෂ මහත්තයා නිකුත් කළ නිවේදනය අධිකරණයට කළ අපහාසයක්. ඒක පළ කරනවාද කියලා ජනමාධ්‍යටත් හිතන්න වෙනවා.
හොරු ඇල්ලුවෙ නැහැ කියලා පසුගිය කාලයේ ආණ්ඩුවට චෝදනා කළා. දඬුවම් නියම කළාම දැන් අධිකරණ තීන්දු වැරදි බව කියනවා.

ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු වචනයක් ප්‍රකාශ කළොත් සමහර හාමුදුරුවරු ඔවුන්ට දඬුවම් දිය යුතු බව කියනවා. බුදුන් වහන්සේත් ගිහියො කියපු දේවල් පිළිගත්තා. ධර්මය විකෘත කරල පිරිසක් කටයුතු කරනවා නම් ශාසනය රැකගන්න බෞද්ධ සංවිධාන කටයුතු කළ යුතුයි. බුදු දහම වැරදි විධියට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම ඉතා අගෞරවයක්. ඒකාබද්ධ කල්ලිය බුදුදහමේ අයිතිකරුවෝ නොවෙයි.

සිල් රෙදි නඩුවේ වැරදිකරුවන්ට පැනවූ දඩය ගෙවන්න සමහර භික්ෂුන් වහන්සේ උත්සාහ කරනවා. ඒත් බුදුන් වහන්සේ පිඬුසිඟා වඩින භික්ෂුන් සඳහා දේශනා කළ මාර්ගෝපදේශ 25හි මුදල් ඉල්ලගෙන යන්න කියල නැහැ. එහෙම කිරීම බුදු දහමට විරුද්ධයි. කොසොල් රජතුමා දැකපු සිහින විස්තර කරමින් බුදුන් වහන්සේ අනාගතයේදී භික්ෂුන් මුදලට ධර්මය විකුණන තත්ත්වයට පත්වෙන බව දේශනා කළා, අද ඒවා භික්ෂුන් වහන්සේ කිහිප නමක් වෙතින් සිදු වෙනවා.
තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් එදත් මේ අය බුද්ධ චීවරය පාවිච්චි කළා. විපක්ෂයේ සිටින අය අදත් තමන්ගෙ හොරකම්, ජඩකම් ආරක්ෂා කරන්න භික්ෂුන් පාවිච්චි කරනවා. තවත් නඩු ඉදිරියට එනවා. එදාටත් මේ හොරු ආරක්ෂා කරන්න භික්ෂුන් වහන්සේට සිදු වේවි.

ජනාධිපති ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ හිටපු ලේකම්වරයෙක් කොටින්ම මුදල් දී ඇති බව බන්දුල ගුණවර්ධන කියනවා. ඒත් ඒ අය ආණ්ඩු කරන කොට මේ පරීක්ෂණ කරන්න ඔහුට මතක් වුණේ නැහැ.