පසුගියදා පවත්වන ලද උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයෙහි එක් ප්‍රශ්නයක් මුළුමනින්ම දෝෂ සහිත බව උසස් පෙළ ගණිත ගුරුවරු සහ උත්තර පත්‍ර පරීක්‍ෂකවරු පවසති.
සංයුක්ත ගණිතය 2 වැනි ප්‍රශ්න පත්‍රයෙහි "බී" කොටසෙහි ප්‍රශ්න අංක 15 (ච) ප්‍රශ්නය මුළුමනින්ම වැරදි බව ඔවුහු සඳහන් කරති.

මේ මස 20 වැනි දින වන විට එනම් හෙට දිනයේදී උත්තර පත්‍ර පරීක්‍ෂාව අවසන් වීමට නියමිතව තිබේ.


එමෙන්ම ඝර්ෂණය සම්බන්ධව අසා ඇති එම ප්‍රශ්නය විෂය මාලාවට අයත් නොවන බව ද ඔවුහු කියා සිටිති.
මෙහිදී අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට උත්සාහ කළ සිසුන් විසඳිය නොහැකි ගැටලුවකට කාලය වැය කිරීමට සිදුවීම බලවත් අසාධාරණයක් බවත් මෙවැනි කාරණා නිසා ප්‍රශ්න පත්‍ර පිළිබඳව සිසුන්ට ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් එම ගුරුවරු පෙන්වා දෙති. ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට උත්සාහ කළ සිසුන්ට ප්‍රශ්නයට අදාළ මුළු ලකුණු ප්‍රමාණය ලබාදීම මඟින් ඔවුන්ට යම් කිසි සහනයක් ලබා දිය හැකි අතරම අදාළ බලධාරීන් මේ ගැන වහාම සොයා බැලිය යුතු බව ද උසස් පෙළ සංයුක්ත ගණිත ගුරුවරු සහ උත්තර පත්‍ර පරීක්‍ෂකවරු වැඩිදුරටත් සඳහන් කරති.

මේ පිළිබඳව අප විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාගෙන් විමසූ විට ඒ අවස්ථාවේ ඔහු පැවැසුවේ ඒ ගැන තමන්ට මේ වනතුරු කිසිවකු දැනුම් දී නැති බවත් එම ගුරුවරුන් පවසන දේ සත්‍ය දැයි සොයා බලා සුදුසු පියවරක් ගන්නා බවත්ය.
ඉන් සුළු මොහොතකට පසු දුරකතනය හරහා සම්බන්ධ වෙමින් විභාග කොමසාරිස්වරයා මේ පිළිබඳව තමන් සොයා බැලූ බවත් එම ප්‍රශ්නය සම්පූර්ණයෙන් නිවැරැදි යැයි තමා තහවුරු කොටගත් බවත් පැවැසීය.

සපුමල් ජයසේන