විජයදාස යැව්වෙ හම්බන්තොට වරාය ගැන ප්‍රකාශෙ නිසා පමණයි
- කැබිනට් මාධ්‍ය හමුවේදී ගයන්ත පැහැදිලි කළ හැටි

විජයදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙස පක්ෂය ඉල්ලා සිටියේ ඔහු හම්බන්තොට වරාය ගැන ලංකාදීපයට කළ ප්‍රකාශය බොරුබව කී අවස්ථාවේ එය ඉවත් කරගන්නා බවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඇතිකරගත් එකඟතා අනුව කටයුතු නොකළ නිසා යැයි ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (23දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය.
එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.
විජයදාස රාජපක්ෂ මහතාට අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයා පවසා
තිබේද..?
එහෙම ඉල්ලීමක් කරල නැහැ. පක්ෂයෙන් ඉල්ලීමක් කරල තිබුණත් ඉල්ලා අස්වුණේ නැහැ. ඒ නිසා මං හිතන්නෙ අගමැතිතුමා ලිපියක් එවල තියෙනවා. ජනාධිපතිතුමා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
නඩු වෙනස් කරන්නට බලාපොරොත්තු වෙනවාද..?
ඇවන්ගාඩ් ගනුදෙනුවෙදී චෝදනා

කළේ මුදල් විශුද්ධිකරණය යටතෙයි. තහනම් අවි පනත යටතේ නෙවෙයි. ඒ නිසා ඇප ලැබෙනවා. නීති ක්ෂේත්‍රයේ මෙවැනි විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා නඩු ගැන නැවත සොයා බලන්න කියලා ඊළඟ අධිකරණ ඇමැතිගෙන් ඉල්ලා සිටිය හැකියි. අධිකරණ ඇමැතිත් ඇවන්ගාඩ් සභාපතිත් අතර තිබෙන ගනුදෙනුව ඡායාරූප එක්කම පසුගිය කාලයේ හෙළිදරව් වුණා.
මුදල් විශුද්ධිකරණයට අදාළව අධිකරණ ඇමැතිට එරෙහිවත් ක්‍රියා කරනවද..?
ඒක ඉතිං කණ්ඩායමක් ලෙස කතා කරලා ගන්න ඕන තීන්දුවක්.
තිලක් මාරපනට යළි ඇමැති තනතුරු දුන්නේ ඔහු පුනරුත්ථාපනය වී ඇති නිසාද..?
ඔව්, පැහැදිලිවම.
ගයන්ත කරුණාතිලක මහතා
විජයදාස රාජපක්ෂ මහතාගේ සිද්ධියෙදි කැබිනට් සාමූහිකත්වය කඩ කිරීම ගැන බරපතළ ප්‍රශ්නයක් මතුවුණා. එජාප සභාපති එක්ක සාකච්ඡා කොට ඒ පිළිබඳ නිවැරැදි කිරීමකට එතුමා එකඟ වුණා. ඒක නොවීම නිසා තමයි මේ තීරණය ගන්න පක්ෂය තීරණය කළේ.
විජයදාස රාජපක්ෂ මහතා මොන කාරණය සම්බන්ධවද කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කළේ..?
විශේෂයෙන් හම්බන්තොට වරාය ගිවිසුම ගැන එළිපිටම කතා කළා. ඇමැතිවරු විවේචනය කිරීම ගැනත් චෝදනා ආවා.
අධිකරණය ක්‍රියාවලිය සම්බන්ධව නොවේද ඔහුට චෝදනා තිබෙන්නේ..?
නැහැ. ඉවත් කිරීමට හේතු වුණේ සාමූහිකත්වය කඩ කිරීම.
විජයදාස රාජපක්ෂ සම්බන්ධව ශ්‍රී ලනිප අදහස කුමක්ද..?


දයාසිරි ජයසේකර මහතා
ඒක එජාපයේ ප්‍රශ්නයක්, අපට ඒ සම්බන්ධව අත ගහන්න වුවමනාවක් නැහැ කියලා අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා.
අගමැති ඉවත් කරන්න සූදානමක් තිබෙන බව නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැති කරන ප්‍රකාශය සත්‍යයක්ද..?
එහෙම එකක් නැහැ. එක එක්කෙනාට හීන තියෙනවා. එජාප අයත් කියලා තිබුණෙ වෙනම ආණ්ඩුවක් හදනව කියලා. නලින් බණ්ඩාරත් ක්‍රිකට් ගැන කියල මට ගහල තිබුණා.

කැබිනට් සාමූහික වගකීම කඩ කළ බවට විජයදාස රාජපක්ෂට එල්ල වන චෝදනාව සුසිල් ප්‍රේමජයන්ත වැනි අයටත් එල්ල වෙනවා. ඇයි ඒ පිළිබඳ ක්‍රියා නොකරන්නේ..?
තාම ඉතිං පටන් ගත්ත විතරයිනේ.
දයාසිරි ජයසේකර මහතා
අපි ගන්න තීරණ පිළිබඳ එළියට ඇවිත් විවේචනය කිරීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කරපු පළමුවැනියා හෝ අවසන් කෙනා සුසිල් ඇමැතිතුමා නෙවෙයි. ඒ නිසා අපි බලමු ජනාධිපතිතුමා එක්කත් කතා කරලා ගන්න තීරණය මොකක්ද කියලා.

තොරතුරු - දෙනගම ධම්මික රණවීර