ගිරිබාව සාලිය අශෝකපුර ප්‍රදේශයේ නිවෙසක සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඊයේ (23දා) දහවල් 12ට පමණ දූෂණය කොට මරා දමා තිබේ.
ගිරිබාව ප්‍රදේශයේ විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ඇය 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.
ඇයගේ පියා රැකියා ස්ථානයට ගිය අතරවාරයේ මෙම සිදුවීම සිදුව ඇත. ස්වයං රැකියාවක නිරතව සිටින මව දහවල් නිවෙසට පැමිණි අවස්ථාවේ නිවෙස පුරා දැරියගේ යට ඇඳුම් විසිරී තිබෙනු දැක
දැරිය පිළිබඳ සෙවීමේදී

නිවෙසේ ඇඳක් මත අත්දෙක ගැට ගසා ඇය මරා දමා තිබෙනු දැක ඇත. කලබල වූ මවගේ කෑ ගැසීමට අසල්වාසීන් පැමිණ ඇත.

මේ අතර එම ප්‍රදේශයේම තරුණයකු සැක සහිත ලෙස හැසිරෙමින් කලබලයෙන් බසයකට නැඟ ඇති අතර තරුණයා පිළිබඳ බස් කොන්‍ෙදාස්තරවරයාට සැක සිතී ඒ පිළිබඳ ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසකට පවසා ඔහු අල්ලා පොලිසියට භාරදී ඇත.
සැකකරු මියගිය දැරියගේ නිවෙසට ආසන්නයේම පදිංචිකරුවකු වන අතර ඔහු පිළිබඳ දැනගත් අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඔහුගේ නිවෙසට පහරදී අලාභහානි කර ඇත. දැරියගේ නිවෙසේ කාමරය තුළදී මේ අපරාධය සිදුව ඇති බවත් ඇයගේ අත් ගැටගසා තිබූ බවත්, පොරබැඳීමක තුවාල සහ දැරියගේ උඩුතොලේ දත් පාරක්ද තිබෙන බවත් පොලිසිය කියයි.

ගල්ගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් කහඳවල මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. වැඩිදුර පරීක්ෂණ සඳහා මළ සිරුර අනුරාධපුර රෝහලට භාරදී ඇත. සැකකරුද ගල්ගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ස්ථාන පරීක්ෂණ සිදුකර ඇත. නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි අනුර දෙහිගහපිටිය මහතාගේ මැදිහත් වීමෙන් ගිරිබාව පොලිස් ස්ථානාධිපති කේ. වී. පී. සී. දීපාල් මහත්වරු ඇතුළු පිරිසක් පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

සැකකරු අද (24දා) ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.