පට්ට හොරා - හිඟන්නා කියමින්
අනුර කුමාර රාජිතට බැන්න හැටි


ඊයේ පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ කතාවක් අතරතුර ඔහුත් සෞඛ්‍ය ඇමතිවරයාත් අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුවී එය ඉහවහාගිය කෝපයක් බවට පත්විය. එම අවස්ථාවේ පරණ දේවල්ද මතක් කරමින් අනුර කුමාර රාජිතට බැණ වැදුනේය.
එම සිදුවීම මෙසේය.
අනුර කුමාර එම අවස්තාවේ මෙසේ කියා සිටියේය.
දැන් රෝහලට ගියාම තුණ්ඩු දෙකක් දෙනවා. එකක් රෝහලට, අනෙක පිටින් ගන්න. අනුරගේ කතාව අසා සිටි රාජිත වේගයෙන් ඇසුවේ
"කොයි රෝහලේද?
"මොනරාගල........." අනුර පිළිතුරු දුන්නේය.
"මා වහාම ඒ අධ්‍යක්ෂවරයා ගෙන්වා නිදහසට කරුණු අහනවා. ඔහුට විරුද්ධව ක්‍රියා කරනවා" රාජිත සේනාරත්න ඇමැතිවරයා වාදයට පැටළුණේය.
අනුර කුමාරට මයික්‍රපෝනය හිමි වී තිබුණද රාජිත ඇමැතිවරයාට මයික්‍රපෝනය නැත. එහෙත් ඔහු අනුර සමඟ එකටෙකම කීවේය.
සභාව ගාලගෝට්ටියක් මෙන් විය. ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් බාධා මතු නොවීමද කැපී පෙනිණි. පසු පෙළේ හිටගෙන කතා කරමින් සිටි රවි කරුණානායක මන්ත්‍රිවරයා හා සාගල රත්නායක ඇමැතිවරයාද තුෂ්ණිම්භූතව සිදුවන දේ බලා සිටියහ.
"මේ රටේ සෞඛ්‍ය ගැන විශ්වාස නම් සෞඛ්‍ය ඇමැති සිංගප්පූරු යනවද බේත් ගන්න. ජාතික රෝහලෙන් බේත් ගන්න තිබුණනෙ. ඇයි මවුන්ට් එලිසබෙත් ගියේ?
ඔහු සිනාසෙමින්...... ඒකෙ මොකද කළේ. සයිටම් එකට විරුද්ධයි. රාජිත ඇමැතිවරයා කියනු ඇසිණි.
හොඳයි දැන් කතාව කරගෙන යන්න කතානායක කීවේය.
බුරලා ඉවරද? බුරල ඉවරද? ටොමියා බුරලා ඉවරද? වාඩි වෙන්න. ජනාධිපති අරමුදලින් ලක්ෂ 100ක්. කතානායකතුමනි ලැජ්ජ වෙන්න ඕනෑ.
ගමේ මිනිහෙකුට හදවත් ඔපරේෂන්
එකකට ජනාධිපති අරමුදලින් ලක්ෂ 1 1/2ක් ගන්න ග්‍රාමසේවකගෙ, දොස්තරගෙ, ප්‍රාදේශීය ලේකම්ගේ සහතික ඕනෑ. මෙයාට ලක්ෂ 100යි. මොන හිඟන්නෙක්ද? මොකක්ද මේ කියන්න එන්නෙ. ඔයා කවුද? මොකක්ද මේ කියන්නෙ" අනුරගේ හඬ වේගවත්ය. රාජිතද අත්හරින්නේ නැත.
"ඔබතුමා කතාව කියන්න. තව විනාඩි හතරයි"
කතානායක අණ කළේය.

එතුමා වාඩි කරවන්න එතකොට මම කියන්නම්. හැබැයි හොරකම් කරපුවා නොවේ. ජනාධිපති අරමුදලෙ සල්ලි නොවෙයි. මෝදර ධීවර වරාය. රජයේ තක්සේරුව ලක්ෂ 17යි. ධීවර වරාය බදු දුන්නෙ 125,000කට. මාස 300කට. පරීක්ෂණ තිබුණා අල්ලස් කොමිසමේ. දෙපාරක් ගියා අල්ලස් කොමිසමට. ජනාධිපති මුණගැහිලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මාරු කෙරෙව්වා. මෙයාට නඩු දායි කියලා. දැන් එනව අපට කතා කරන්න.

ජනාධිපති අරමුදලින් ලක්ෂ 100ක් අරන් මගෙන් අහගන්න එපා මොකවත්. ලැජ්ජා වෙන්න ආණ්ඩුවත් එක්ක බිස්නස් කරලා මන්ත්‍රිකම නැතිවෙලා තියෙන්නෙ. ලංකාවේ නඩුවක් දාලා මන්ත්‍රිකම නැතිවෙච්ච එකම මනුස්සය අපට උගන්වන්න එනවා හොරකම් ගැන. නඩුව දාලා මන්ත්‍රිකම නැති වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට දණගහලා වඳින්න ඕනෑ මන්ත්‍රිකම නැති වුණාට පස්සේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම දුන්නා. ඔන්න කට්ටිය අපිත් එක්ක එන්න එපා ඕවා කතා කරන්න. අනුර කුමාරගේ කතාවේදී පට්ට හොරා හිඟන්නා ආදී වචනද කියැවිණි.