පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ මතුගම කීරන්තිඩියේ රැස්වීමකදී මෙසේ කීවේය.

‘අගමැතිතුමා උදේ අවදි වෙලා කල්පනා කරන්නෙ මොනවද අද විකුණන්නෙ කියලයි. ඇඳේ වටපිට බල බලා විකුණන්න දෙයක් හොයද්දී මෛත්‍රි නෝනා රෙද්දෙන් මූණ වහගන්නවලු. මෙහෙම විකුණල ගන්න සල්ලිවලින් ජනාධිපති _ අගමැති ඇතුළු කැබිනට් එක පිස්සු නටනවා. ඡන්ද 5,000 නොගත්ත සරත්
ෆොන්සේකා ගත්ත කාර් එකට කෝටි අටයි. අගමැතිතුමාගෙ කාර් එකට කෝටි තිහයි. ජනාධිපතිතුමාගෙ කාර් එකට කෝටි හැටයි. මේ කෝටි හැටේ කාර් එක බලන්න මම හරි ආසාවෙන් ඉන්නවා. මේක පාරෙ යන මාලිගාවක්ද දන්නෙ නැහැ. තනි කාර් එකට ලක්ෂ හය දාහක්. මේකෙ ටයර්වලට රත්රන් දාලා තියෙනවද කියල දන්නෙ නැහැ.
රාජපක්ෂලාට විරුද්ධ නඩු අහන්න විශේෂ උසාවියක් දාන්න කියල දැන් ආණ්ඩුව කියනවා. ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, හිටපු නීතිපති තිලක් මාරපන මේ අයට බනිනවා රාජපක්ෂ ඒජන්තයො කියල, ඩීල්දාස කියල බනිනවා.


සිංහලයා වෙනුවෙන් බෞද්ධයා වෙනුවෙන් ආණ්ඩුව ඇතුළෙ හඬක් නඟන්නෙ විජයදාස රාජපක්ෂ මහතා විතරයි. කොන්ද පණ තියෙන එකම ඇමැති ඔහු විතරයි. මොන දේශපාලන මතවාදය තිබුණත් අපි ඇත්ත කියන්න ඕනෑ. රණවිරුවන් දංගෙඩියට යවන්න විදේශීය විනිසුරුවන් ගේන එකට මේ ඇමැතිවරයා විරුද්ධ වුණා. අකිල විරාජ් ඇමැතිවරයා පන්සලේ පින් කැටේට විදින්න හදන වෙලාවෙදි ඒකට විරුද්ධ වුණා. ඒ වගේම හම්බන්තොට වරාය විකිණීමට විරුද්ධ වුණා. එහෙම නැතිව විජයදාස රාජපක්ෂ හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. මැරකම්, සල්ලාලකම් කළා කියලා ඔහුට චෝදනා නැහැ. විජයදාස රාජපක්ෂ මැතිතුමාට විරුද්ධ රට, ජාතිය, ආගම වෙනුවෙන් ආණ්ඩුව ඇතුළෙ තනිවම අරගල කළ නිසයි.

රට පාවාදීමේ ව්‍යාපෘතියට මේකා මහ වධයක්. ඇණයක්. ඒ නිසා වහාම මොහු ඉවත් කළ යුතුයි කියලා ආණ්ඩුව තීරණය කරල තියෙනවා. විජයදාස රාජපක්ෂ මහත්තය කිව්වේ මට ආණ්ඩුව වටිනවා. ඊට වඩා මට රට වටිනවා කියලා.

තව වසර දහයකින් ආසියාවේ හොඳම වරාය වෙන්නෙ සිංගප්පූරු වරාය නොව මාගම්පුර _ හම්බන්තොට වරාය බව චීනා දන්නවා. තටාකයක්

කිව් වරායකට ඩොලර් මිලියන 1,100ක් ගෙවන්න චීනාට පිස්සුද? තව වසර දහයකින් කාර්තිව් ඇළ කපන බව චීනා දන්නවා. එතකොට සිංගප්පූරු වරායට එන නැව්වලින් සියයට අනූපහක් චීනයට, කොරියාවට, ජපානයට, පිලිපීනයට යන්නෙ මේ ඇළ දිගේයි. ඒ නැව් යන අලුත් මුහුදු මාවතේ මර්මස්ථානය වෙන්නෙ මාගම්තොට _ හම්බන්තොට වරායයි. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ ගැබ්බර වූ එළදෙන චීනෙට විකුණල හූල්ල හූල්ල ඉන්නව වගේ වැඩක් කරන්නයි. ඒක එතැනින් නතර වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තය හදනවා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා විවෘත කරනවා. රනිල් මහත්තයා විකුණනවා.

අද වෙනතුරු එකම එක හොරකමක් ඔප්පු කරගන්න හැකිවෙලා නැහැ. ඩොලර් කෝටි ගණන් පිටරටවල තියෙනවා කිව්වා. බැංකුවෙ තියෙන සල්ලි රාජිත ඇමැතිතුමා ඇස් දෙකෙන් දැක්කා කිව්වා, මේ වගේ මෝඩ කතා කියල රටේ බලය ගත්තා. එදා මෙගා ඩීල් ගැන මෙගා බොරු කිව්ව. මෙගා පොලිස් ඇමැති දැන් කියනවා මහින්ද රාජපක්ෂ කාලෙ දැවැන්ත සංවර්ධනයක් තිබ්බා. හැබැයි හොරකම් වෙනවාය කියන හැඟීමක් ජනතාවට ඇති වුණාලු. එහෙම හැඟීමක් ඇති වුණා නෙවෙයි. උදේ ඉඳල රෑ වෙනතුරු පච කියල එහෙම හැඟීමක් ඇති කළා.‘

මතුගම _ වසන්ත කුමාර