ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දක්වා ගමන් කරන්නන්ට මේතාක් මැලේසියාව
හෝ සිංගප්පූරුව
හරහා යානා දෙකක ගමන් කිරීමට සිදුවූයේ සෘජු ගුවන් ගමන් නොතිබුණ නිසාය.
මෙම අඩුව සපුරමින් කොළඹ-මෙල්බර්න් සෘජු ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ. එළැඹෙන ඔක්තෝබර් මස 29 දා සිට කොළඹ – මෙල්බර්න් දිනපතා ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමට අපේක්ෂිත ගුවන් මගීන්ට වෙනත් රටක නැවතීමකින් තොරව සෘජුව ගමන් කිරීමේ අවස්ථාව  ලැබෙනු ඇත. එසේම මේ හරහා මැදපෙරදිග මෙන්ම දකුණු ආසියානු ජනතාවට වාසි හිමිවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
කොළඹින් දිනපතා රාත්‍රී 11.50ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ගමන් ආරම්භ කරන ගුවන් යානය ඔස්ට්‍රේලියානු වේලාවෙන් පස්වරු 3.25ට එරටට ළගා වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවෙන් නැවතත් පස්වරු 4.55ට ගුවන් ගමන ඇරඹෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.15ට ශ්‍රී ලංකාවට ළගා වෙනු ඇත.