නොදන්නා අයෙකු දුම්රියට ගැසූ ගලකින්
නි.අධ්‍යාපන අධ්‍යක්ෂ මරුට


කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ‍්‍රගාමි දුම්රියේ ගමන් කරමින් සිටි උතුරු මැද පළාත් නි.අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ඒ. පුෂ්පකුමාර මහතා
කැලණිය ප‍්‍රදේශයේදී නාඳුනන අයෙකු එල්ල කළ ගල් ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලබා මියගොස් ඇත.
පසුගිය 3 වනදා සවස් කාලයේ මෙම අවාසනාවන්ත ගල් ප‍්‍රහාරයෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුව ඇති අතර එක්වරම ගල් සහ බෝතල් එල්ලවූ නිසා
එයින් බෙරෙන්නටවත් ඉඩක් නොතබාම ඔහු දුම්රිය

මැදිරිය තුළ ඇදවැටී තිබේ.
කෙසේ වෙතත් දුම්රියේ ගමන් කළ මහජනයා සහ නිලධාරීන් ඔහුගේ උදව්වට පැමිණි අවස්ථාවේ ගාණක් නෑ කියමින් ඔහු රෝහලට යාම ප‍්‍රතික්ෂේප කර ඇත.
අනතුරුව ඔහු තුවාල සහිතව අනුරාධපුරය දක්වාම ගමන් කර තිබෙන අතර ලේ පෙරන තුවාල සහිතව නිවසට යමින් සිටියදී ඔහු ගැන නිරීක්ෂණය කළ ඔහුගේ හිතවත් විදුහල්පතිවරයෙකු සිද්ධිය විමසා ඇති අතර එම අවස්ථාවේත් ගාණක් නෑ මං ගෙදර ගිහින් බෙහෙත් දානවා යයි ඔහු කියා ඇත. කෙසේ වෙතත් හිතවතාගේ පෙරැත්තය නිසා පසුව
ඔහුව අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. දින 4 ක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටීමෙන් පසු ඔහු මියගොස් ඇත.
පුෂ්පකුමාර මහතා තිදරු පියකු වන අතර මියයන විට 49 වැනි වියේ පසුවිය. ඒ මහතාගේ වැඩිමහල් දියණිය මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි බවද කියැවුණා.
උතුරු මැද පළාතේ දෙවන වාර විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රවල මුදල් ගෙවීමේ කටයුත්තක් සඳහා පසුගිය 03 වැනිදා කොළඹ පැමිණි ඇති පුෂ්පකුමාර මහතා රජයේ මුද්‍රණාලයට ගොස් රාජකාරි නිමකර එදින සවස 3.55 ට පිටත්වූ නගරාන්තර දුම්රියේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
දුම්රියට ගල්වලින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.