කුරුණෑගල ගිහින් ඇවිත්
මහන්සියෙන් හිටි විජය නන්දසිරි

හාට් ඇටෑක් හැදුණාම
බාත් රූම් එකේදී කෑගැහුවලූ

(විජයගේ අවසන් ඡායාරූප)

ප‍්‍රවීණ නළු විජය නන්දසිරි ඊයේ දහවල් අභාවප‍්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයක් වැළඳීමෙනි. මින් දිගු කලෙකට ඉහත බයිපාස් සැත්කමකටද බඳුන්ව සිටි ඔහු දියවැඩියා රෝගයෙන්ද පීඩා විඳි අයෙකි.
ඊයේ හෘද රෝගයට ලක්වන්නට ප‍්‍රථම ඔහු වෙහෙසකර තත්වයක පසුවිය. එයට හේතුවූයේ
පෙරේදා (ඉරිදා) ඔහුට කුරුණෑගලට ගොස් ‘අලූත් හොරෙක්  ඕනෑ’ නමැති නාට්‍යයේ දර්ශනවාරයකට පෙනී සිටිමට සිදුවූ නිසාය. එය නිමකර ඔහු නැවත ගල්කිස්සේ නිවසට පැමිණියේ දෙගොඩහරි යාමයේය. පසුදා අවදිවී ඇඟපත සෝදාගන්නට ගොස් නාන කාමරයේ සිටින අවස්ථාවේ ඔහුට මෙම හෘද රෝගය එක්වරම වැළඳී තිබේ.

එම අවස්ථාවේ පුතාගේ නම කියමින් ඔහු කෑගැසූ බවත් වාර්තාවෙයි. ඔහු පපුව අල්ලාගෙන පහත්වී සිටි අතර නිවසේ සිටි ඥාති කාන්තාවක එම අවස්ථාවෙහි උදව්වට පැමිණ කෘත‍්‍රිම ස්වසනය ලබාදීමට උත්සාහ කර තිබේ. අවස්ථා තුනක්ම අසාර්ථකවූ බවත් හතරවන අවස්ථාවේද එය ව්‍යවර්ථව ගිය බවත් හෘදයේ හඬක් නැගී නවතිනු ඇසුණ බවත් ඇය පසුව ඒ ගැන විස්තර කළාය.
ඉන් අනතුරුව මිනිත්තු පහළොවක් වැනි කාලයක් තුළ කළුබෝවිල පිහිටි දකුණු කොළඹ මහ රෝහල වෙත ඔහු රැගෙන ගියත් ඒ අවස්ථාව වනවිටත් ඔහුගේ ප‍්‍රාණය නිරුද්ධවී තිබුණි.
මරණ පරීක්ෂක විපුල නරසිංහ මහතා තීරණය කළේ මෙම මරණය ස්වාභාවික තත්ව මත හදිසි හෘදයාබාධයකින් සිදුවූවක් ලෙසයි.
විජය නන්දසිරි මහතා මියයනවිට 72 වන වියෙහි පසුවිය.
අවසන් මොහොත දක්වාම ප‍්‍රාණවත්ව රංගන කාර්යයද අත් නොහැර ආකර්ෂණීය පෙනුම රැකගෙන සිටින්නට සමත්වූ නිසාම බොහෝ අය ඔහුට එතරම් වයස යයි සිතන්නට බැරිව පුදුම වී තිබුණි.
විජය නන්දසිරිගේ දියණිය සැමියා සමග ඕස්ටේ‍්‍රලියාවේ සිටින අතර සියල්ලන්ගේ පැමිණීම තහවුරුවූ පසු අවසන් කටයුතු පිළිබඳ දිනයක් තීරණය කරන්නට අවශ්‍ය නිසා ඊයේ එය පසුවට කල් තැබිණි.
පහත පළවන්නේ කුරුණෑගල අවසන් නාට්‍ය දර්ශන වාර අවස්ථාවේ ඉරිදා ලබාගත් ඡායාරූප කිහිපයකි.