විවාහ දිවියට වසර 30 ක් පිරුණ අවස්ථාවේ
සමුගත් විජය නන්දසිරි බිරිය දේවිකා සමග 
එක්ව කියූ කතාව


අද දින අභාවප්‍රාප්තවූ ප්‍රවීණ නළු විජය නන්දසිරි හා දේවිකා මිහිරානි යුවළගේ විවාහ දිවියට වසර 30 සපිරුනේ පසුගිය 2015 වසරේදීය. එම අවස්ථාවේ එම දෙදෙන පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිය අතීත ගමන්මග ගැන කරුණු කියා සිටියේ පහත පරිදිය.

‘කවදත් වේදිකාව අමතක නොකරන ඔබ
මොනවද මේ දවස්වල කරන්නේ’
‘මේ අවුරුද්දේ සෑම සති අන්තයක්ම වෙන් කරලා තියෙන්නේ වේදිකා නාට්‍ය වෙනුවෙන්. සමහර දවස්වල සිකුරාදා දවසටත් වේදිකා නාට්‍ය තිබෙනවා. ඊට අමතරව සතියේ දවස් පහ ටෙලි නාට්‍ය දෙකක රඟපානවා. ඒ සරත් ධර්මසිරි’ගේ ‘කිංචි ගුණේ’ කියන ටෙලි නාට්‍යයේ හා ටොලමිගේ ‘ක්ලාස් සිංහල ක්ලාස්’ කියන ටෙලි නාට්‍යයේ. මං රඟපෑ චිත්‍රපට දෙකක රූගත කිිරීම් අවසන්. සුගත් සමරකෝන්ගේ ඉදිරි මාසයේදී කරන චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා. ඒ සඳහා සහභාගිවීමටත් බලාගෙන ඉන්නවා. මේ වසරේ මම අලුත්ම වේදිකා නාට්‍යයක් කරනවා.’

ඒ අතර විජයගේ ආදරණීය බිරිය දේවිකා සාලයට එබී අප සමඟ සිනාසුණාය. ඒ සුහද සිනහව සමඟින් ළයාන්විත ස්වරයෙන් අප ඇමතූ ඈ නිවෙස ඇතුළට ලැසි ගමනෙන් පිවිසියේ සංග්‍රහ කිරීමට කුමක් හෝ සකසන්නටය.

‘ඔබගේ ජීවිතයේ නොසැලෙන අත්වැල දේවිකාද?’

‘ඇත්තටම ඔව්. සෙවණැල්ල මෙන් මගේ ළඟම සිටින ඇගේත්, මගේත් විවාහ දිවියට දැන් තිස් වසරක්. ඈ තමයි මගේ කලා ගමනේ ශක්තිය වන්නේ. නිවෙසේ සියලු කටයුතු සොයා බලමින් බිරියකගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල ඉටු කරන ඇය මගේ ජීවිතය වගෙයි. ඇගෙන් මේ සියලු කටයුතු ඉටුවන නිසා මට තියෙන්නේ රූගත කිරීම්වලට සැකසුණු බෑගයත් අරගෙන නිවෙසින් පිටත්වන එක පමණයි. ඒ බෑගය ඇතුළේ මට අවශ්‍ය ඇඳුම් - පැළඳුම්, බෙහෙත් - හේත්, කෑම - බීම ආදී සියලුම දේ සකස් කරලා තිබෙන බව මා දන්නවා.’

මේ කටයුතු අවසාන වෙලා නිවෙසට වී ඉන්න දින කිහිපයක කාලයේ බොහොම නිදහසේ ගත කරන විජය නන්දසිරි ඉඳලා හිටලා ගෙවත්තේ වැඩවලටත් උදව් වන්නේ කැමැත්තෙනි.

‘ඒකත් හොඳ ව්‍යායාමක් නේද?’

‘නිවෙසට වෙලා ඉන්නවා නම් පත්තර කියවන එකයි, රූපවාහිනිය නරඹන එක මගේ දින චර්යාවේ අංගයක්. ඒ වගේම ගෙවත්තේ තිබෙන පැළවලට වතුර දමන එකත් මම කරන්නේ බොහොම කැමැත්තෙන්. මේ කරන දේවල් ව්‍යායාම කියලා හිතනවාට වඩා නිර්මාණ කටයුතුවලදී කරන රඟපෑමෙන් නම් මා හොඳ ව්‍යායාමයක් ලබනවා’

ව්‍යයාම කතාව අතරමඟදී විජය නන්දසිරිගේ කතාබහ අතරට සහභාගි වූණු දේවිකා මිහිරාණි ඇයට ලැබෙන ව්‍යායාම පිළිබඳ පවසන්නේ මෙවැනි කතාවකි.

‘මට නම් ව්‍යයාම කරන්න කියලා විශේෂයෙන් ඕනෑ වෙන්නේ නැහැ. මොකද අපේ ගෙදර රෙදි සෝදන යන්ත්‍රය තිබෙන්නේ තුන්වැනි තට්ටුවේ නිසා දවසට තුන් වරක්වත් එහි යන්න සිදු වෙනවා. මට නම් ඒක හොඳ ව්‍යායාමයක්.

‘දුවයි,පුතයි ළඟ නොමැතිකම නිසා පාළුවක් තනිකමක් දැනෙනවාද?’

‘දුව නවාංජනා ඔස්ට්‍රේලියාවේ. පුතා රසාංජන ඇමෙරිකාවේ. උදේට හැමදාම ඒ දෙන්නම කතා කරන නිසා ඔවුන් දුරස්ථයි කියලා හිතෙන්නේ නැහැ. ස්කයිප් එකෙන් කතා කරන නිසාත්, නිතරම වගේ මම නාට්‍ය අරන් එහි යන නිසාත් එයාල නැති අඩුව අපට දැනෙනවා අඩුයි’

විජය නන්දසිරි කියන්නේ දරුවන් සිහිපත් කිරීම නිසා නැගෙන සතුට පෙරදැරිවය.

පුතා අමෙරිකාවේ සිට අධ්‍යාපනය ලබන්නේ ගුවන් යානා පදවන්නටය. එනමුදු ඔහු කලාවට බෙහෙවින් හිතැත්තෙකි.

‘පුතා හරියට විජය තරුණ කාලයේ වගේමයි. එයා අධ්‍යාපනය ලබන විෂය කලාවෙන් වෙනස් වුණත් කලාවට බොහොම ආදරෙයි. විවිධ වූ කලා හැකියා රාශියක් ඔහුට තිබෙනවා. විදේශ ගත වුණාට පස්සේ අපේ නාට්‍යවලට ඔහු ආලෝකකරණයෙන්, බෙර වාදනයෙන්, අත්වැල් ගායනයෙන්, රඟපෑමෙන් කියනා මේ සියල්ලෙන්ම උදව් වෙනවා. දුවටත් ඒ වගේම මේ සියලු දේ කළ හැකියි. පුතා කියන්නේ මම කවද හරි දවසක තාත්තා වගේ වෙනවා කියලයි’

නිවෙසේ සියලු කටයුතු කෙරෙන්නේ දේවිකාගේ සුරතෙනි. ඇයට ඒ කටයුතුවලට උදව්වට වෙනත් කිසිවෙකුත් නොමැති නිසා බොහෝ විට ඇගේ සහෝදරියන් පැමිණ සහය වීම පවුලේ සිරිතකි. එමෙන්ම ඇය සතු වූ අපූරු පුරුද්දක් ද වෙයි.

‘මොකක්ද මේ අපූරු පුරුද්ද?’

‘අපේ බුදු දහමේ කියන්නේ අපට තිබෙන බොහෝ දේ බෙදා හදාගෙන කන්න කියලයි. ඒ වගේම පුංචි කාලයේ ඉඳලා මගේ අම්මාත්, තාත්තත් ඒ යහපත් ක්‍රියාව ප්‍රගුණ කළා. අපට කියලා දුන්නේ බදාගන්න නෙවෙයි, බෙදා හදාගෙන කන්න කියලා. එතැනදි කෑමක්, ඇඳුමක් වෙන්න පුළුවන්, භෞතික වස්තුවක් වෙන්න පුළුවන්, සමහර විට වචනයකින් හරි ආදරය බෙදා හදාගන්න මම බොහොම කැමැති කෙනෙක්. ඒ දුන් දේ සියල්ල බොහොම සුවඳයි කියලා තමයි මම නම් සිතන්නේ.’

ජීවිතය පිළිබඳ සුන්දර ලෙස සිතන්නට ඇය සමත් ය. මෙවැනි සිතුවිලි ඇති හදවතකින් රසට කෑම උයන දේවිකා විජයගේ ආහාර වේල ගැන විශේෂයෙන් සිතන බිරියකි.

‘විජය අයිය කන්න කැමැති මොන වගේ කෑමද?’

‘විජය නම් බොහොම වෙලාවලට කන්නේ රතු බත්. ඒ වගේම මැල්ලුම්, කැඳ, සුප් වගේ දේවල් නිතරම වගේ මම හදන්නේ ඔහු කැමැති නිසා. විශේෂයෙන් ගමේ එළවළුවලට ඔහු වැඩි රුචියක් දක්වනවා. දරුවන් දෙන්නා නම් කැමැති බටහිර පන්නයට කන්නයි. මේ නිසා ඒ සෑම විදියකටම අපේ ගෙදර කෑම හැදෙනවා. ඒක මම කරදරයක් කියලා හිතන්නේ නැහැ.’

දේවිකා පවසන්නේ සැබෑවටම වග ඇගේ උවන සාක්ෂි දරයි. මේ අතර කවදත් ක්‍රිකට්වලට ප්‍රිය කරන විජය අයියා අපෙන් සමුගෙන ඉහළ මාලයට නඟින්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමේ අදහසෙනි. ඒ අතර දේවිකා ඔහුට සිනහ සෙන්නේ ක්‍රිකට් තියෙනවා නම් එයාට ඔක්කොම අමතකයි කියමින්ය. ඒ සොඳුරු යුවළට සමුදුන් අපි මහමඟට පිවිසියේ කාර්යාලයට පිවිසීමේ අදහස පෙරදැරිව ය.

සටහන - තිලානි ශානිකා විතානාච්චි
සේයාරූ - මාලන් කරුණාරත්න

(සරසවිය පුවත්පත අනුග්‍රහයෙනි)