ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්ති ඇමරිකාවේ පැවැත්වෙන මිස් ලැටිනා ජාත්‍යන්තර රූප රැජිණ තරගය සඳහා ලංකාව නියෝජනය කරන්නට තෝරාගෙන තිබෙනවා.

ඇය ඒ ගැන සති අන්ත පුවත්පතකට කතා කර තිබුණා.

මේනකා මොකක්ද මේ ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත්වෙන කතාව?

ජාත්‍යන්තරයට යනවා කියන එක ඇත්තටම මගේ සිහිනයක්. මුලින්ම මම ජාත්‍යන්තරයට ගියේ නර්තනයෙන්. එයින් මට ජයග‍්‍රහණයක් ලැබුණා. මෙවර මම ජාත්‍යන්තරයට යන්න හදන්නේ නිරූපිකාවක් විදිහට.

මොකක්ද මේ තරගයේ නම ?

මිස් ලැටීනා ඉන්ටර්නැෂනල්.

කොහේද පැවැත්වෙන්නේ ?

ඇමරිකාවේ බහාමා රාජ්‍යයේ තමයි තරගය පැවැත්වෙන්නේ.

රටවල් කීයක් මේ සඳහා සහභාගි වෙනවාද?

රටවල් විස්සක් විතර සහභාගි වෙනවා.

කොහොමද මේ අවස්ථාව ඔබට උදාවුණේ ?
ෆෙස්බුක් හරහා ඔවුන් මේ තරගාවලියේ ප‍්‍රචාරණ කටයුතු කළා. අනික අවුරුදු තුනක් තිස්සේ මම මේ තරගාවලිය සංවිධානය කරන පිරිස අඳුනනවා. දැන් කාලයක ඉඳන් මේ තරගයට ඉදිරිපත් වෙන්න කියලා ඔවුන් මට ආරාධනා කළා.

උස ප‍්‍රශ්නයක් නෙමෙයිද?

නැහැ. මම ගොඩක් බයෙන් හිටියේ. නමුත් එහි සභාපතිනිය පැවසුවා උස ප‍්‍රශ්නයක් කරගන්න එපා. තරගයට ඉදිරිපත්වෙලා බලන්න කියලා.

කවදාද ලංකාවෙන් පිටත්වෙන්නේ ?

ඔක්තෝබර් 21 තමයි තරගය පැවැත්වෙන්නේ. ඊට පෙර මම ඇමරිකාව බලා පිටත්වෙනවා.

මොනවගේ සූදානමක්ද මේ තරගය වෙනුවෙන් තියෙන්නේ ?

මගේ මූලික සූදානම තියෙන්නේ මගේ සිරුර ගැන. මොකද මම ටිකක් මහත්වෙලයි ඉන්නේ.
මේ දවස්වල කෙට්ටුවෙන්න මහන්සි වෙනවා. මම වැඩිපුර ව්‍යායාම කරනවා.


ජාත්‍යන්තරයට යන්න ලංකාවේ ලොකු දෙයක් කරලා තියෙනවාද?

ලංකාවේ ලොකු දෙයක් කරන්න පුළුවන්ද බැරිද කියන එකත් ප‍්‍රශ්නයක්. යම්කිසි පිරිසක් රට ඇතුළේ දෙයක් කරන්න හදනකොට අපි ඊට එහාට ගිහිං දෙයක් කරන්න තමයි සූදානම් වෙන්නේ.

තියෙන ජනප‍්‍රියත්වය මදි හින්දාද මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්නේ ?

ජයප‍්‍රියත්වයෙන් අඩුවක් නැති තරම්. මම මොන දේ කළත් හරි ඉක්මනට මාධ්‍යයේ ප‍්‍රචාරය වෙනවා. එහෙම වෙන්නේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. මේක මගේ ආසාවක්. එච්චරයි.


සටහන - දිනේෂ් විතාන (මීවිත)