රාවණා ඇල්ලේ අවදානම් කලාපය තරණය කරන්නට ගොස් 
ප‍්‍රංශ තරුණියක් මරුට

බණ්ඩාරවෙල රාවණා දිය ඇල්ලේ නරඹන්නන්ට තහනම් කර තිබෙන අවදානම් කලාපය තරණය කරන්නට උත්සාහ කළ 19 හැවිරිදි විදෙස් තරුණියක් අද දහවල් අවාසනාවන්ත ලෙස පහළට ලිස්සා ඇද වැටීම නිසා මරණයට පත්වුණා.
සංචාරක මග පෙන්වන්නෙකු ,මව , පියා සහ නැගණියන් තිදෙනා සමග පැමිණි
මරිනා කුෂි නමැති මෙම තරුණිය ප‍්‍රංශයේ පැරිස් නුවර වාසය කරන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නියක වූ බව කියැවුණා.
තරමක හිතුවක්කාර හැසිරීම් ඇති ඇය එපා කියන දේවල් කරන්නට ආසා අයෙකු බවත්

සිද්ධිය වූ අවස්ථාවේ තම පවුලේ අය රාවණා ඇල්ලේ පහළ කොටසේ නාන්නට වෙන් කළ ස්ථානයේ දිය නාමින් සිටින අතර ඇය පමණක් ගල් මත අඩි තබමින් ඉහළට යන්නට උත්සාහ කර ඇති බවත් වාර්තා වුණා.

එම ස්ථානයේ භාෂා ත‍්‍රිත්වයෙන් ගල් මත ඉහළට යන්නට එපා යන්න සටහන් කර  ඇතිවාක් මෙන්ම එසේ නොයන ලෙස මගපෙන්වන්නාද උපදෙස් දී ඇත. නමුත් ඇය ඒ ගැන නොතකා ඉහළට ගමන් කර තිබෙන අතර එකවරම පය ලිස්සා ඇද වැටී ගල් මතින් වැදි වැදී බිමට පතිත වී තිබේ.
රාවණා ඇල්ලේ ජල පහර අධික පීඩනයකින් යුතු නිසා කිසියම් අයෙකු ලිස්සා යාමේදී තැලීම් සිදුවීමේ ප‍්‍රබලතාවය ඉහළයි.

අවාසනාවන්ත ලෙස ජලපහර සමග පහළට වැටුණ තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබුණා. ඇගේ මරණය අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීමෙන් සිද්ධවූ බවට සැක කෙරේ.
ඇගේ පියා මව හා සොයුරියන් ඉදිරිපිටදීම මෙය සිදුවීම දෛවෝපගතය.

මෙම පවුල කැටුව මින් ඉහත දිනවල සංචාරක ස්ථානවල නිරතවන අතරවාරයේ ඇය අවදානම් අවස්ථා කිහිපයකටම ලක්වූ බවත් සංචාරක මගපෙන්වන්නා ප‍්‍රකාශ කර ඇත.
එක් අවස්ථාවක වාහනයේ වීදුරුවෙන් මුහුණ එළියට දමායාම නිසාද අවදානමකට ලක්ව ඇති අතර ඇයට අවවාද කළත් ඇගේ හැසිරීම් නැවතී නැත.
එම අවස්ථාවේ ඇය ගැන විශේෂයෙන් සඳහන් කරමින් ඇගේ මවටද උපදෙස් දුන් බව මගපෙන්වන්නා කියා සිටී. නමුත් ඇගේ මව පවසා ඇත්තේ තම දියණිය දැන් තරුණියක නිසා යමක් කමක් තේරෙන බැවින් ඒ ගැන තමන් කරදර වියයුතු නැති බවකි.
පසුගිය කාලයේ රාවණා ඇල්ලේ මෙම ස්ථානයේ ලිස්සායාම් නිසා 50 දෙනෙක් පමණ තුවාල ලබා හෝ මියගොස් ඇති බවද වාර්තාවේ.