කතානායක කරු
සිංගප්පූරු රෝහලට යන්න නැග්ග

එමිරේට්ස් ප්ලේන් එකෙන් බස්සවලා

මේ දිනවල රෝගාතුරව සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් පසුවන කතානායක කරු ජයසූරිය එම ප‍්‍රතිකාර ලබාගන්නට පසුගිය සතියේ ලංකාවේ සිට එමිරේට්ස් ගුවන් යානයකින් පිටත්වන්නට සූදානම්වූ අවස්ථාවේ අකරතැබ්බයකට ලක්වූ බව වාර්තා වෙනවා.ගුවන් යානයට නැග පළමු පන්තියේ අසුනක සිටි ඔහුව අපහසුතාවයට ලක්කරමින් නැගිටුවා වෛද්‍ය සහතිකයක් අවශ්‍ය බවට නොදන්නා තර්කයක් මතුකරමින් ඔහු සමග වාදයකට පැටලී තිබෙන එමිරේට්ස් නිලධාරියෙකු පසුව
කතානායකවරයා යානයේ ගමන් කිරීමට නුසුදුස්සෙකු යයි නම් කර  බස්සවා ඇතුළට ගත් ගමන් මළුද යළි බිම දමා පිටත්ව ගොස් ඇත.
අනතුරුව ඊට පැය 12 කට පසුව පිටත්වූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් කතානායකවරයා සිය ගුවන් සංචාරය සිදුකර තිබෙන්නේ අතරමැදි කාලය සීදුව ප‍්‍රදේශයේ හෝටලයක ගතකිරීමෙන් අනතුරුවයි.


සිංගප්පූරුවට යාමට ප‍්‍රථම කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ කරු ජයසූරිය එම වෛද්‍ය උපදෙස් මත සිංගප්පූරුවේ රෝහලක වැඩිදුර ප‍්‍රතිකාර පිණිස යන්නට සූදානම්ව ඇත්තේ සිය දියණියවූ වෛද්‍ය ලංකා දිසානායක (ඇමති නවීන්ගේ බිරිය) සමගය.

ඒ අනුව එමිරේට්ස් සමාගමේ ටිකට් කවුන්ටරයකට අවශ්‍ය ලියකියවිලිද ඉදිරිපත් කර ගුවන් ගමනට අදාළ ටිකට් පත් ලබාගෙන තිබෙන ඔහුට ගුවන්ගතවන්නට ගිය දිනයේ ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදීද ලියකියවිලි අඩුවක් ගැන දැනුම්දීමක් කර නැත.

රෝද පුටුවෙන්ම ගොස් පසුව අපහසුතා සහිතව ඇවිද ගොස් එමිරේට්ස් යානයේ පළමු පන්තියේ අසුනේ ඔහු වාඩිවූ පසුව පෙර කී නිලධාරියා ඔහු වෙත පැමිණ මෙම ගමන සඳහා සිංගප්පූරු රෝහලේ වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය බව කියා ඇත. එවැන්නක් අවශ්‍ය බව දන්වා නැති යයි කතානායකවරයා දැනුම්දුන් විට සිය ඇමරිකානු කාර්යාලය අමතා එවැන්නක් තහවුරු කරනතුරු ගුවන් ගතවන්නට දෙන්නට බැරි යයි නිලධාරියා කොන්දේසි පනවා පසුව ඇමතුම ලබාගෙන අවසර සිය නොහැකි බව දන්වා ඇත.
එම අවස්ථාවේ සිංගප්පූරු රෝහලෙන් අවශ්‍ය ලියවිලි මිනිත්තු 10කින් ෆැක්ස් කළ හැකි යයි කීවත් ඔහු පිළිගෙන නැත.


එසේම මෙම රෝගී තත්වය ගැන කටුනායක ගුවන් තොටුපළ වෛද්‍යවරයාගේ නිර්දේශයක් ලබා අවසර දිය හැකි වුවත් ඔහු එයට උනන්දුවී නැත. පසුව නිලධාරියා කතානායකවරයාට ගුවන් යානයෙන් බසින්නට යයි නියම කර ගමන පිටත්වී ඇත. ඒ වනවිට කාතානායකවරයාගේ ගමන් මළු පවා යානයට ඇතුළ් කර තිබුණ අතර ඒවාද බිමට බාන්නට නියෝග ලබාදී ඇත.
මෙම සිද්ධියෙන් අපහසුතාවයට පත්වූ කතානායක කරු ජයසූරිය ඊළඟ ගුවන් වාරය විමසීමේදී සිංගප්පූරු ගුවන් සේවා යානයක් තව පැය 12 කට පසු ගුවන් ගතවන බව දැන එයට අයදුම් කර අතරමැද කාලය සීදුව ප‍්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන පසුව පිටත්ව ගොස් ඇත. එම සේවාව මගින් එමිරේට්ස් ඉල්ලූ පෙරකී ලියවිලි විමසා නැත.
මේ වනවිට සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් පසුවන කරු ජයසූරිය කතානායකවරයා තමන්ට සිදුවූ අපහසුතාවය ගැන කළකිරීමට පත්ව සිටී.