http://www.gossiplankanews.com/2018/06/train-baby-batticaloa.html
කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා" රාත්‍රි නගරාන්තර දුම්රියේ ගමන්ගත් ගැබිනි මවක ඊයේ (07දා) අලුයම 1 ට පමණ දුම්රිය මැදිරිය තුළදීම දරුවෙකු බිහිකර තිබේ.
වෛද්‍ය උපදෙස් නොතකා රෝහලෙන් පිටමංව දුම්රියේ ගමන් ගනිමින් සිටි මෙම ගැබිනි මව
දරුවා බිහි කිරීමට ආසන්න තත්ත්වයේ සිටින බව දුම්රිය නියාමකවරයකු විසින්  රාත්‍රි 12.30 ට පමණ හබරණ පොලිසියට දැනුම්දී ඇත.

ඒ අවස්ථාවේදී හබරණ පොලිසිය ඒ බැව් හබරණ රෝහලේ වෛද්‍ය නිලධාරිවරයාට දැනුම්දී තිබේ. පසුව හබරණ රෝහලේ සේවය කරන පවුල් සෞඛ්‍ය

නිලධාරිනියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් හබරණ දුම්රිය ස්ථානය වෙත ගොස් ඇත. හබරණ දුම්රිය ස්ථානයට දුම්රිය ළඟා වෙමින් තිබියදී ඇයට ප්‍රසව වේදනාව උත්සන්න වීමෙන් පසු දුම්රිය මැදිරියේදීම උපත සිදු කර තිබුණි.ඒ අවස්ථාවේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් එම ගැබිනි මවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලස්වාදී බිහිකළ දරුවා සහ මව හබරණ රෝහල වෙත රැඟෙන යෑමට පියවර ගෙන ඇත.
ඇය මඩකළපුව,කාතන්කුඩි පදිංචි 26 හැවිරිදි එම්.රිස්මිරා  නමැති දෙදරු මවක් වන අතර ඊයේ දුම්රිය මැදිරිය තුළදී මෙළොව එළිය දැක ඇත්තේ ඇගේ තුන්වැනි දරුවායි.උපත ලදදරුවා පුතෙකි.


මව හදවත් රෝගයකින් පෙළෙමින් සිටීම නිසා ඇයගේ ජීවිතාරක්ෂාව පතා වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා තිබේ.දඹුල්ල රෝහලේ නේවාසිකව සිටින මව හා දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ වෛද්‍යවරුන් කියා සිටිති.
මෙම ගැබිණි මව හදවත් රෝගී තත්වයෙන් පසුවීම නිසා, දරු ප්‍රසුතියෙදී මවට හා දරුවාට සිදුවිය හැකි අවදානම සලකා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කොළඹ ප්‍රධාන රජයේ රෝහලක නේවාසිකව සිටියදී වෛද්‍යවරුන්ගේ අවවාද නොතකා රෝහලින් බැහැරව තම සැමියා සමග දුම්රියෙන් තම ගම් ප්‍රදේශය බලා යමින් සිටියදී මෙසේ දරු ප්‍රසුතිය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

හබරණ පොලිසියේ තම නිලධාරීන් සහ හබරණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලය නොපමාව ක්‍රියාත්මක වීම නිසා ඒ මවත් දරුවාත් දෙදෙනාගේ ජීවිත උපද්‍රවයකින් තොරව බේරා ගැනීමට හැකිවූ බව වාර්තා විය.
වසර 160ක මෙරට දුම්රිය ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාවද මෙය බව වාර්තාවේ.