මාතලේ, උඩතැන්න, රත්වත්ත වත්තේ රෝස තිරුවාණා ලෙසට සලකා කැණීම් සිදු කෙරෙන්නේ සෙව්වන්දි නමැති මැණික් විශේෂයක නිධියක් බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෝ පවසති.

පාරිසරික වශයෙන් හානියක් සිදුවන අන්දමට මෙම පාෂාණය කඩා ඉවත් කරන බවට චෝදනා කරමින්
පරිසරවේදීන් හා පරිසර සංවිධාන ඒක්ව දක්වන විරෝධතා පිළිබඳව සොයා බැලීමට පැමිණි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා විසින් මෙම පාෂාණ නිධිය සෙව්වන්දි නමැති මැණික් විශේෂය ලෙසට හඳුනා ගත් බව 'ගැපෙක් ශ්‍රී ලංකා' ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පැවැසීය.


ඉහළ අගයක් ඇති සෙව්වන්දි පාෂාණය රෝස තිරුවාණා  ලෙසට අලෙවි කිරීමෙන් ජාතික වශයෙන් විශාල ආදායමක් අහිමි වන බව පෙන්වා දෙන 'ගැපෙක් ශ්‍රී ලංකා' ආයතනයේ අධ්‍යක්ෂවරයා මෙම පාෂාණයේ ඇති පාරදෘශ්‍යභාවය නිසා කනකර ආභරණ තැනීම සහ 'චිප්ස්' නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවත් එමඟින් මෙම පාෂාණ නිධියෙන් විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ හැකියාව ඇති බවත් පවසයි. මෙම නිධියෙන් මීට ඇති ලෝක ඉල්ලුමෙන් 7%ක තොග සපයා ගැනීමේ හැකියාව ඇති බවත් සෙව්වන්දි නොහොත්  'ධමනි තිරුවාණා' නමැති මෙම පාෂාණයෙන් උපරිම  ප්‍රයෝජන ලබා ගැනීමට මදිහත් වන ලෙසත් රජයෙන් ඉල්ලා තිබේ.