කොට්ටාව ප‍්‍රදේශයේ පිහිටි ක්ෂණික ආහාර නිෂ්පාදන ආයතනයක ආහාර යතුරුපැදියෙන් බෙදාහරින සේවකයාට උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර පහරදී
ඔහු සතුව තිබූ එම ආහාර හා මුදල් කොල්ලකෑ පස් දෙනෙකු මත්තේගොඩදී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. මෙම කෑම ඕඩරය බොරු ලිපිනයකට ලබාදී ඇත්තේද කොල්ලකරුවන් බව පරීක්ෂණ වලදී හෙළිව ඇත.
එලෙස කොල්ලකා ඇත්තේ රුපියල් පන්දහසකට අධික මිලකට අලෙවි කරන ආහාර පාර්සලයක් හා රුපියල් හත් දහසකට ආසන්න මුදලක් බව පොලිසිය කියයි.
මීට දින කිහිපයකට පෙරදී රාත්‍රියේ කොට්ටාව

නගරයේ එම ආහාර නිෂ්පාදන ආයතනයට දුරකතන ඇමතුමක් ලබාදී තිබු කොල්ලකරුවන් රුපියල් පන්දහසකට අධික මිලක් තිබෙන ආහාර ඇණවුම් කර මත්තේගොඩ පාළු අතුරු මාර්ගයක නමක් සදහන් කර වසා තිබෙන නිවසක ලිපිනයක් ලබාදී එය රැගෙන එන ලෙස දන්වා ඇතැයි පොලිසිය කළ මූලික පරික්ෂණවලින් හෙළිවී ඇත.
එම ආහාර රැගෙන යතුරුපැදියෙන්  පැමිණෙන නියෝජිතයා එන පෙර මග බලා සිට ඇති මෙම පුද්ගලයින් වසා තිබෙන නිවස අසල රැදී සිට මෙම කොල්ලය සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව පරික්ෂණ පැවැත්වීමෙදී කහතුඩුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක කමල් බණ්ඩාර මහතාට ලද තොරතුරක් අනුව කොල්ලය සඳහා පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොල්ලකන ලද ආහාර පාර්සලය බහා තිබූ එම ආහාර නිෂ්පාදන ආයනයේ නම සඳහන් බෑගයක් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ නිවසේ තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් මීට පෙර කහතුඩුව හා අවට පොලිස් බල ප්‍රදේශවලට සිදුවූ මේ ආකාරයේ මකොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයන් දැයි සොයා බලන බව පොලිසිය කීය.