රටට වැඩදායක දරුවන් 19 දෙනකු ලක්‌මවට දායාද කර "වීරමාතා" රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද මාතාවක්‌ දසදහස්‌ සංඛ්‍යාත ජනකායකගේ අතිමහත් ගරු බුහුමන් සහ සෝසුසුම් මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (9 දා)
පස්‌වරුවේ දැයෙන් සමුගෙන ගියාය. ඇය කොළඹගේආර රංචමඩම මානෙල් පෙදෙසේ විසූ කේ. එච්. එන්සිනා නමැති 92 හැවිරිදි මාතාවකි.

වලස්‌මුල්ල කිරම නාගස්‌රුප්ප ප්‍රදේශයේ උපත ලද ඇය හක්‌මන නරවැල්පිට හේමාලංකාරගේ සව්නේරිස්‌ යන අය සමඟ විවාහ වී කොළඹගේආර රංචමඩම ගමට පැමිණ හේන් ගොවිතැන් කරමින් ජීවිතය ආරම්භ කර ඇත. එවකට ඝණ වනාන්තරයක්‌ව පැවැති රංචමඩම ප්‍රදේශයට ඔවුන් පදිංචියට පැමිණෙන විට සිටියේ තවත් එවැනිම වූ ගොවි පවුල් කිහිපයක්‌ පමණකි. ස්‌ථිර නිවාස කිසිවක්‌ එහි නොතිබුණ අතර ලී දඬු යොදා ඉලුක්‌සෙවිලි කර තැනූ වාඩිවල ඔවුහු පදිංචිව සිටියහ. ඔවුහු ලී වලින් තැනූ මැස්‌සක්‌ නිදාගැනීම සඳහා භාවිත කළහ.

පවුලක සාමාජිකයකු මියගිය පසු කළයුතු අවමංගල්‍ය කටයුතු ගැන අවබෝධයක්‌ නොතිබුණු එම පිරිස්‌ යම් අයකු මියගිය විට මිනිය එතැනම තබා එම වාඩිය අත්හැර වෙනත් වාඩියක්‌ හදාගෙන එහි පදිංචියට යාම සිදුකර ඇත.

සව්නේරිස්‌ මහතා මෙහි පදිංචියට පැමිණීමත් සමඟ(සව්නේරිස්‌ මහතා දැන් ජීවතුන් අතර නැත) මෙම සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට ඔහුට හැකිවිය. ඉන් පසුව රංචමඩමේ පළමුවෙන්ම මියගිය තැනැත්තාගේ දේහය මිනී පෙට්‌ටියක තැන්පත් කර අවමංගල්‍ය චාරිත්‍රානුකූලව භූමදාන කිරීමට ඔහු පියවර ගත්තේය. සමාජ සේවයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ මෙම යුවළ අසල්වැසියන් සමඟ එක්‌ව එම යුගයේ අවශ්‍යතා පරිදි ගැමියන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගත්හ.

සව්නේරිස්‌ මහතාට දාව එන්සිනා මාතාව බිහිකළ දරුවන් 19 දෙනා අතරින් 15 දෙනෙක්‌ දැනට ජීවත්ව සිටිති. ඔවුන්ගෙන් කිහිපදෙනෙක්‌ කොළඹ, දෙනියාය, පස්‌ගොඩ, වලස්‌මුල්ල, මිනුවන්ගොඩ වරාපිටිය යන ප්‍රදේශවලත් සෙසු අය රංචමඩම කොළඹගේආර ප්‍රදේශවලත් පදිංචිව සිටිති.

මෙම මාතාවගේ එක්‌ දියණියක්‌ දරුවන් දස දෙනකු බිහිකර ඇත. තුන් මුණුබුරන් දැක ගැනීමේ වාසනාව හිමිකර ගැනීමටද ඇයට භාග්‍යය තිබී ඇත. ඇයගේ දරු මුණුබුරු පරම්පරාව 118 ද ඉක්‌මවන බව දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන ඇයගේ මිනිබිරියක වන එච්. කේ. ඒ. කාංචනමාලා මෙනවිය පැවැසුවාය. ප්‍රදේශයේ ජනප්‍රිය කවියකුවූ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි විමල්මාදන මහතා කියා සිටියේ ඇය මියයන තුරුම ඉතාම නීරෝගීව ජීවත්වූ බවය.

අඩුවශයෙන් වේදනානාශක පෙත්තක්‌වත් බීමට තරම් රෝගයක්‌ ඇයට වැළඳී නැති බවද ඔහු පැවැසීය. ඇය මියගිය අවස්‌ථාවේ සිට පසුගිය සෙනසුරාදා (09දා) පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාව දක්‌වා දසදහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ වැලනොකැඩී ඇයට ගරු බුහුමන් දැක්‌වීම සඳහා පැමිණියහ.