පාදුක්ක අංගම්පිටිය මල්ලදෙනිය පාර ප‍්‍රදේශයේ නිවෙසක කුස්සියේ තිබූ හඳුනා නොගත් රබර් ගුලියක් වැනි යමක් කැපීමට තැත් කිරීමේදී එය පුපුරා ගොස් පිළිස්සුම් තුවාල ලැබූ 66 හැවිරිදි කාන්තාවක් පෙරේදා හෝමාගම රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි.මෙම රබර් ගුලිය "හක්කා පටස්”යන
නාමයෙන් හඳුන්වන සතුන්

ඝාතනය සඳහා උගුල් ඇටවීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් බවට හඳුනා ගෙන ඇති බවත් ඒ පිළිබඳව නොදන්නාකම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව මෙය ගැලවීමට උත්සාහ දරා පසුව කතුරකින් කපා අවසානයේ මන්නා පිහියකින් කපා දැමීමට කටයුතු කිරීමේදී මෙලෙස පුපුරා ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

 පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව පාදුක්ක දිසා රෝහලටත් එතැනින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත් තුවාල ලැබූ කාන්තාවගේ දෑත් සහ කකුල් පිළිස්සීමට ලක්වී ඇති බවත් පොලිසිය පවසයි.
අනතුර සිදු වූ නිවසේ තුවාල ලැබූ කාන්තාව ඇගේ දියණියක් සමග වාසය කරන බවත් ඔවුන්ගේ මුලුතැන්ගෙය නිවෙසින් පිටත තිබෙන අතර ඒ අසලින් ගිය කිසිවෙකු හක්ක පටස් නමැති උගුල් ගුලිය ඒ දෙසට විසි කර යන්නට ඇතැයි සැක කරන බව ද පොලිසිය පවසයි. නුගේගොඩ පොලිස් කොටිඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් සහ පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඒ. ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක එස්.ඒ. ආටිගල මහතා පරික්ෂණ පැවැත්විය.