නාමල් හා ප්‍රසන්න නිසා 
ඒකාබද්ධය - ශ්‍රීලනිපය එක් නොවේ

එළැඹෙන පළාත් පාලන මැතිවරණය මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකතුවී ඡන්දයකට යාමේ සාකච්ඡා මේ වනවිට මුළුමණින්ම අසාර්ථකවී තිබේ. ඒ අනුව ඓතිහාසික ලෙස ශ්‍රීලනිපය දෙකඩවී තිබෙන අතර
මේ සංසිද්ධියට මූලික හේතුව ඒකාබද්ධ විපක්ෂ පිලේ නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග දිගින් දිගටම එල්ල කළ විරෝධය බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
ශ්‍රීලනිපය දෙකඩ වීම තුළ ඉදිරි පුංචි ඡන්දයේදී පමණක් නොව අනාගත ප්‍රධාන මැතිවරණ වලට පවා බලපෑම් එල්ලවිය හැකි ලෙස ප්‍රාදේශීය

මට්ටමින් දෙපිල බෙදීම් සිදුවිය හැකි අතර මෛත්‍රී පිල හා මහින්ද පිල ලෙස පැහැදිලි පාර්ශ්ව දෙකක් මතුවීමත් එයින් එකක් පමණක් ප්‍රබලවීමත් වැළැක්විය නොහැකිය.
මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් පවා මෙම දෙපිල බෙදීම වෙනුවෙන් අවසාන මොහොතේත් නොසතුටින් සිටි නමුත් නාමල් හා ප්‍රසන්න එල්ල කළ විරෝධය මත අවසන් තීරණ ලබාගත් බව අභ්‍යන්තර ආරංචි වාර්තා කරයි.
එකට එකතුවීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින දෙදෙනකුගේ දැඩි විරෝධය. නිසා බැවින් ඉදිරියේදී පක්‍ෂයට මුහුණදීමට සිදුවන සියලු ප්‍රශ්නවලට ඒ දෙදෙනා වගකිවයුතු බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතාද මේ දෙදෙනාගේ නම් නොකියා පවසා තිබේ.

මහින්ද බැසිල් දෙදෙනාත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් අති බහුතරයත් එක්වීමට කැමැති නමුත් මෙම දෙදෙනාගේ විරෝධය නිසා එකඟතා කඩාකප්පල් වූ බව ඊයේ (06 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දයාසිරි ඇමතිවරයා දන්වා සිටියේය.
අනාගත නායකයින් වෙන්න බලාගෙන ඉන්න මෙම පුද්ගලයන් දෙදෙනාගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද ඇමැතිවරයා  එහිදී පැවසීය.

මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් ආයතනයක්‌ ජයග්‍රහණය කිරීමට සියයට 60 ක බහුතරයක්‌ ගත යුතු යෑයිද එය පක්‍ෂවලට ඉතා අසීරු ඉලක්‌කයක්‌ බවද දන්වා සිටි ඇමතිවරයා
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනත් පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතු බවට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද ඒ අනුව පොහොට්‌ටුව දිනවන්න කිසිවකු ක්‍රියා කළහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවද පවසා තිබේ.