රජරටින් රජෙක් පිටරටින් හාල් ගෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ පොළොන්නරුවේ පැවති ජනහමුවකට පෙරේදා (05) පස්වරුවේ එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

“මේ ආණ්ඩුව පත් වෙලා වසර තුනයි. හැම ඇමතිවරයෙක්ම කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම ඇමතිවරයෙකුම කතාව පටන් ගන්නේ ගිය ආණ්ඩුවේ වැරදි කියලා. ඒ අය හිටියේ නෑ වගේ. හැබැයි කතාව අවසන් කරන්නේ තමන්ගේ අයට

බැනලා. එක්සත් ජාතික පක්ෂයේ කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා, ඉවර කරන්නේ ශ්‍රී ලංකා ඇමතිවරයාට බැනලා. කෝ ප්‍රතිපත්ති? රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන වැඩපිළිවෙළක් කෝ? අගමැති ජනාධිපතිවරයාට බනිනවා, ජනාධිපති අගමැතිට බනිනවා, බැඳුම්කරය ගැන හොයන්න ඕනේ කියනවා, ජනාධිපතිවරයා කියනවා බැඳුම්කරයේ අලුත් හොරු අල්ලන්න ඕනේ කියලා.”

“රටේ නායකයෝ දෙන්නා දෙපැත්තට ඇද ගන්නවා. කියන්න ලැජ්ජයි රජරට ප්‍රදේශවල ඉන්න පිරිසක් බත් කන්නේ පිට රට හාල් වලිනුයි. රජරටින් රජෙක් පිටරටින් හාල්. එතුමාට අපිට මඩ ගහන්න වැඩක් නෑ. එතුමා කරන්න ඕනේ හරිය කර ගන්නවා. ආණ්ඩුවේ වෙන හැම වරදකටම මේ දෙන්නා වගකියන්න ඕනේ. ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා නම් රට සංවර්ධනය වෙනවා. රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය දේපොළ විකුණන එක නම්, රටින් කෑල්ලක් කන්න දෙන එක නම්, ලෝකෙට වැඳගෙන යන එකනම්, ලෝකේ ඉස්සරහ දණ ගහන එකනම්, රට අගාධයට යනවා. ඒක තමයි වෙනස.”යැයිද වැඩිදුරටත් පැවසීය.