ඩුබායි සිට කෝටි 4ක රන් බඩු
යට ඇඳුමේ හා ඉණේ ගහගෙන ආ

සුප්‍රකට දේපළ වෙළෙඳ සමාගම් හිමිකාරිණිය

පසුගිය 13 වනදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඩුබායි සිට මෙරටට ආ කාන්තාවන් දෙදෙනෙකු රුපියල් කෝටි 04ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සඟවාගෙන පැමිණ හසුවූ පුවතක් වාර්තා විය.
49 හා 41 වියේ පසුවූ මෙම දෙදෙනාගෙන් 49 හැවිරිදි වියේ පසුවූ කාන්තාව කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික කාන්තාවක බවත් අනෙකා ඇගේ සහායිකාව බවත් හඳුනාගෙන ඇත.
ලංකාවේ නමගිය දේපළ වෙළෙඳ සමාගමක
උපදේශිකව හා මුල් හිමිකාරිය බව කියන ඇය කාලයක් තිස්සේ නිරන්තරයෙන්ම ඩුබායි සාප්පු සවාරි යාම පුරුද්දක් කරගෙන තිබෙන බවත් ඒ බොහෝ අවස්ථාවල මේ ආකාරයට රත්රන් තොග ලංකාවට ගෙනවිත් අලෙවි කර ඇති බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.
මෙම ජාවාරම සිදු කර ඇත්තේ

තම උදර ප්‍රදේශ වටා බැඳ තිබූ විශේෂ ඉණපටි තුළ සහ යට ඇඳුම් තුළ මසන ලද සාක්කුවලයි. මෙම කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 700ක් පමණ වන ස්වර්ණාභරණ තොගය, පැකට් 08කට සකස් කර සඟවා ගෙන තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉකුත් 13 වන දින අලුයම ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරන ගුවන්
යානයෙන් මෙම කාන්තාවන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පී. ජේ. පී. බස්නායක මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම කාන්තාවන් දෙදෙනා නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කළ අතර, සහායක  කාන්තාව පරික්ෂණ වලින් පසු නිදහස්  කර වයාපාරික කාන්තාවට රුපියල් ලක්ෂ 25ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.