හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා ආරම්භ කරන්නට යෙදුනු ‘එලිය’ නම් සංවිධානය ජනතාව රැවටීම සඳහා අටවා ගත් තවත් රාජපක්ෂ උප්පරවැට්ටියක් බව ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසයි. ඊයේ (14)  මරදාන CSR ශාලාවේදී පුරවැසි සංවිධාන එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවකදී  පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි  මෙසේ කීවේය.

“ මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කරපු, කටුනායක,හලාවත නිරායුධ උද්ඝෝෂකයින්ට හමුදාව යොදවලා පහර දීල මරපු, වැලිකඩ සිරගෙදරට පැනලා ආරක්ෂක අංශ විසින් සිරකරුවන් මරා දැමුණු බවට චෝදනා ලබපු යුගයක රටේ ආරක්ෂාව භාර ප්‍රධානියා වුනේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු මේ සිදුවුණු සිදුවීම් වලට යුක්තිය

ඉටුකරන්න ආරක්ෂක ප්‍රධානියා විදිහට කිසිවක් සිදුකලේ නෑ එකල. ඒකනිසා මේ රටේ මිනිස්සුන්ට සාධාරණ සැකයක් එදා ඉඳල අද වෙනකම් තිබෙනවා මේ ඝාතන වලට ඔහු වගකිව යුතුයි කියලා.

මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් තවම සිදුවෙලා නෑ. ලසන්තගේ ඝාතනය, ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව පමණක් නෙමෙයි අහිංසක පාසල් සිසුන්, ව්‍යාපාරිකයින් කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම් වලට පවා ආරක්ෂක අංශ වල ඇතැම් පිරිස් සම්බන්ධයි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අනාවරණය කරගෙන තිබෙනවා. ඉතින් රටක ආරක්ෂාව භාර ප්‍රධානියා නොදැන එහෙම දේවල් වෙන්න පුලුවන්ද? මේ සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වෙලා  එම  අත්අඩංගුවට ගත්ත නිලධාරීන්ට අණදුන් පුද්ගලයින් සොයා ගන්නා තුරු අප වසර දෙකක් තිස්සේ දෑස් අයා බලාගෙන ඉන්නවා.

එහෙව් තත්ත්වයක් තිබෙද්දී මිනිස්සු මැරිලා ඉපදිලා කියලා හිතලද දන්නේ නෑ අලුත් අලුත් සංවිධාන හදාගෙන මේ චෝදනා වලට ලක් වෙච්ච උදවිය අලුත් වටයකින් පව් සමා කරගෙන දේශපාලන පිම්මක් පනින්න හදන්නේ. අපි දැක්කා පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ “එලිය” කියලා අලුත් සංවිධානයක් හදාගෙන අලුත් වටයකින් කළඑළි බහින්න සූදානම් වෙන ආකාරය. සුපිරි හෝටල්වල මේ විදිහට සංවිධාන එළිදක්වන්න මේ මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද? අපි දැක්කා කවුද ඒ සංවිධානය එළි දක්වන්න ඇවිත් හිටියේ කියලා.

ජාතිවාදය අවුලුවලා පසුගිය කාලයේ රට ගිනිතියපු මිනිස්සු තමයි හිටියේ එතන. යුද්ධෙන් පස්සේ මේ රටේ සංහිඳියාව ඇතිකරලා සමාජ පරිවර්තන යුගයකට යන්න තිබුණ අවස්ථාව නැතිකරලා, පලිගැනීම් වලින් දේශපාලන අවස්ථාවාදයට පාර කපපු මිනිස්සු මේ පෙන්නන “එළි” භූත ‘එළි’ මිසක් දේවතා ‘එළි’ නොවන බව මේ රටේ මිනිස්සු දන්නවා. මේ එළි පස්සේ යන උන්ට වෙන්නේ පහන් දැල්ල පස්සේ යන පලගැටියන්ට වෙන දේ බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.”