ස්කෑන් පරීක්ෂණයකට ගිය කත
නිරුවත්කර වීඩියෝ කළ
මහනුවර විකිරණ ශිල්පියා



මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව
ස්කෑන් පරීක්ෂණයක් සඳහා
පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එම ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.

මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අයේෂා බණ්ඩාර මහත්මිය සහ පොලිස් සැරයන් ගාමිණී රත්නායක යන නිලධාරීන් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

ගයා ශ්‍රී කාරියවසම්