මහනුවර, සිරිමල්වත්ත මහ විදුහලේ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් අධ්‍යාපනය ලබමින් සිටි ගොඩනැඟිල්ලේ වහලයේ කොටසක් ඊයේ (30දා) පෙරවරු 10.15ට පමණ කඩා වැටීමෙන් ගුරුවරියක සමඟ සිසුන් 21 දෙනකු තුවාල ලබා ඇත.

රෝහල් ගත කර සිටින
තුවාල ලැබූ සිසුන් සිවුදෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටෙන අවස්ථාවේ සිසුන් මෙවර වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියමින් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කළාය.

තුවාලකරුවන් මහනුවර හා යක්ගහපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ. මහනුවර මහ රෝහලේ ළමයින් 12 දෙනකු ප්‍රතිකාර ලබන අතර යක්ගහපිටිය රෝහලට ඇතුළත් කළ ගුරුවරිය හා ළමයින් ප්‍රතිකාර ගෙන ඊයේ දහවල් රෝහලින් පිටව ගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගොඩනැඟිල්ලේ සිසුන් 43 දෙනකු සිට ඇති බව වාර්තා වෙයි.

වත්තේගම අධ්‍යාපන කලාපයේ සිරිමල්වත්ත මහ විදුහලේ දශකයක් පමණ පැරැණි මේ ගොඩනැඟිල්ලේ වහලය බෙහෙවින් අබලන්ව තිබී ඇති අතර දිරාපත් වූ වහලේ මුදුන් ලීයට මුක්කු ගසා තිබූ බව සිසුන්ගේ මවුපියෝ පැවැසූහ.
අනතුරින් තුවාල ලැබ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන ළමයින්ගේ සුවදුක් බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඊයේ දහවල් රෝහලට ගොස් ඇත.


මහනුවර - කමල් සුරවීර, කුණ්ඩසාලේ - ඩබ්ලිව්. අළුගොල්ල, ගයා ශ්‍රී කාරියවසම්